බීර මත

 "අනේ.. මේ ජීවිතේ හරිම බරයි.. ඔයාට බැරි ද මාව වඩාගන්න.."


-බීර මතින් සිටි රැයක-


ගිලී ඉපිලෙමි 

තෙත වලාකුළක,

ඔබ කියූ ලෙසටම

සඳ අතහැර ගොස් ඇත

අහස.


බොහෝ ඉස්සර දවස් වල,

පුළුන් රොදකි මා ඔබට,

මැසිවිලි නැත කීවේ කිසිදින

ඔසවාගෙන උරමතට

සමනලුන් පසුපස ගියා මිස.


සැඩ කුණාටුවක් මැද

කැලැන්ඩර් කොළ ඔරුවක සිට,

මා ඔබට ආදරේ වග

කෑ ගසා පවසමින් ය,

මේ සුලඟ මා ගොළු කර,

ඔබේ කන් බිහිරි කර

ඇති වග හැඟෙන.


බීර ඔඩමක පතුළක

ගිලී මියදෙන්නට ප්‍රථම,

ඔබට පමණක් ඇසෙන්නට,

"අනේ මාව වඩාගන්න" යැයි

කියන්නට හැකි ද?




Comments

Popular Posts