කනපිට,හොද පිට සහ කතාව


කනපිට කතාව____


මුළු සරත් කාලයම එක අහුරට අරගෙන ජනේලෙන් එහා පැත්තට වීසි කරලා ඒ දිහා මට බලාගෙන ඉන්න ඉඩ සලස්සපු දෙවියන් වහන්සේට ස්තූතියි..මේ කර්කටක නිවර්තනය පොඩි කෙල්ලෙක් වගේ පාට කූරු වලින් ගස් වල කොළ පාට කරන කාලය.. ඒ පාට පාට කොළ ජේදස්ථර හදාගෙන ඉස්සරහට එන කටුක ධවල කාලයක් වෙනුවෙන් දෙතුන් පාරක් උඩ යට පාවෙලා බිමට වැටෙනවා...කුස්සියට වෙලා ලංකාවෙන් ගෙනාපු තේ කොළ වලට මින්චි කොළයක් එකතු කරලා තේ හදන ගුමන් මේ ඉවරයක් නැතිව වැටෙන කහ පාට  ක්‍රිම්සන් පාට කොළ දිහා බලාගෙන "ඇබ්සිසික් ඇසිඩ්" කියලා මුමුණවා ඇති.. තව ටික වෙලාවකින් ගුමන් එයාගේ පර්සියන් පූස් ගමනින් ඇවිත් මගේ අත් උඩින් දුම් දාන තේ කෝප්පයක් තියලා මගේ ලඟින්ම වාඩිවේවි...



නැහැ..කේතලේ වතුර උතුරන කොට ඇහෙන විසිල් සද්දේ ඇහුනේ නැති නිසා තේ හදනවා වෙන්න අමාරුයි..ගුමන්  මැද සාලෙට වෙලා කෑලි මූට්ටු කරලා මහපු පොරෝනාව ඇතුළේ ගුලි වෙලා නිව්ස් වලට හිම වැස්සක් ගැන හෝඩුවාවක් දෙනකන් බලන් ඉන්නවා ඇති..



මේ රෝද පුටුව මට තනියම තල්ලු කරගෙන එහා මෙහා යන්න ටිකක් විතර අමාරුයි.. මගේ දකුණු අත තැන් දෙකකින් පුපුරලා නිසා වෙනදා වගේ මේ සරත් කාලේ පින්තූරයක් අදින්න මට බැරිවෙයි බාග වෙලාවට..ඒත් මේ ජනේලෙන් එහා පැත්තේ ලස්සන දිහා පොඩි කාලේ සුරංගනා කතාවක් ටීවී එකෙන් බලනවා වගේ බලාගෙන ඉන්න පුළුවන්.. හවස හතයි තිහට තමා මනෝ උපදේශනේට ඩොක්ටර් එනවා කියලා තියෙන්නේ.. දැන් පහයි  පහයි...ඇගිනස්,මගේ සාත්තු සේවිකාව මාව කලින්ම ලෑස්ති කරලා යන්න ගියා...මේ කෙහෙල්මල් රෝද පුටුව තල්ලු කරගෙන යන්න පුළුවන් වුනා නම් මට ගුමන් බලන්න යන්න තිබ්බා...



මට මතකයි මම ගුමන් එක්ක බුදිය ගත්ත පළවෙනි දවස...( ඒක බොහෝම සැහැල්ලුවෙන් කියන්න පුළුවන් දැන්!!) එයා කරන්න ඔනි  හැමදේම හරිම විද්‍යාත්මක විදිහට පැහැදිලි කරලා අන්තිමට "ඔන්න ඕකයි වෙන්නේ" කියලා හිනා වෙලා ඇඳ උඩ එරමිණිය ගොතාගෙන වාඩිවුනා...මම විද්‍යාත්මක දේවල් වලින් ගොඩාක් දේවල් තේරුම් ගන්න අමාරු කෙනෙක් විත්තිය දැන දැනත් එයා දිගටම කලේ  ඒ දේ වුනත්.. මම ඒ දේවල් බොහෝම කැමැත්තෙන් අහගෙන හිටියේ හරියට දෙමළ සිංදුවක් රිවයින් කරකර අහන් ඉන්න සුද්දෙක් වගේ සතුටින්...පස්සේ දවසක මගෙ හොදම යාලුවා එක්ක ඒ සිද්දිය කිව්වාම  එයා කිව්වේ "මොන විකාරයක්ද ඒ?" කියලා වුනත්,ඒත්, මම තාම ඒ කියපු විකාරමය දේ එක්ක විකාරමය විදිහට ආදරේ කරමින් ඉන්නවා..



ඇයි මට ඇවිදින්න බැරි වෙලා රෝද පුටුවක ඉන්නේ කියන එක ගැන මට මතක නෑ..ඒ වගේ දෙයක් අමතක වෙලා යන එක  කොයිතරම් දෙයක්ද.. වේදනාවමය මතකයක් අමතක වෙන එක!! ඒත් මගේ මනෝවෛද්‍ය අන්කල්ට ඒක ලොකු ප්‍රශ්නයක්.. 



" ඔයාට මතක නෑ නේද ඇයි ඔයා රෝද පුටුවක ඉන්නේ කියන් එක?"



"නෑ ඩොක්ටර්.. මට දැන ගන්න උවමනාවක් නෑ ඒ ගැන..දැන් මම රෝද පුටුවට හුරු වෙමින් ඉන්නේ"



"එතකොට ගුමන් ගැන?"



"මට ගුමන් මතකයි.. එයා අද හවසට ඒවී.. පාට පාට මේපල් කොළ ඇතුළට දාපු ලස්සන නොට් බුක් එකකුත් අරගෙන.. පිස්සා!! දන්නේ නැතිව ඇති මගේ අත කැඩිලා කියලා"



හොද පිට කතාව________



අපි දුවගේ හිත රිද්දන්න කැමති වුනේ නැහැ.. ඒ නිසයි එයා කැම්පස් එකෙන් හොයාගෙන ඇවිත් හිටපු මනුස්සයාටම අපි එයාව බන්දලා දෙන්න තීරණය කලේ..ගුමන් පුතා කලේ සෘතු විපර්‍යාස වලට ශාක හෝමෝන වල දායකත්වය ගැන පරීක්ෂණයක් කියලා අපිට කිව්වෙත් දුව...අපි නම් ඔව්වා ඒ තරම් දන්න අය නෙමෙයි... ඒත් ඒක ගොඩක් බැරෑරුම් දෙයක් වෙන්න ඇති කියලා අපි තාමත් විශ්වාස කරනවා..



එයාලාගේ සතුට හුස්ම ගන්න තෑග්ගක් විදිහට දුවගෙ ගර්භාෂ බිත්තියක් තද කරලා බදාගෙන ටිකෙන් ටික ලොකු වෙනවා කියලා දැන ගන්න කොට මාස දෙකටත් කිට්ටුයි..එතකොට ඩොක්ටර්ස්ලා කිව්වේ පරක්කු වැඩියි කියලා..


"මේ බබාගේ ඔළුව අසාමාන්‍ය විදිහට පොඩියි..කොච්චර පොඩීද කියනවා නම් ඇඟ වර්ධණය වෙනවාට වඩා හෙමින් හිස වර්ධනය පේන්නේ.. මේක විකුර්ථි කළලයක්.. සමාවෙන්න.. දැන් අයින් කරන්න වුනත් ටිකක් කල් වැඩියි.."



ගුමන් බොහෝම ශාන්ත විදිහට දොස්තරට අතට අත දීලා දුව ගාවට ඇවිත් එයාගේ සුපුරුදු විස්තරාත්මක කතාව කියන්න ගත්තා.. 


"එයා හැදිලා එළියට ඒවී... එයාට පුළුවන් ආයිමත් අපිවම කැමති නම් හොයාගෙන එන්න නේද..එයා කිසිම අඩුපාඩුවක් නැති කෙනෙක් කියලා දැනෙන්න මේ මාස දහය ගෙවලා දාමු.. ඔයා කැමති නේද"


දුව හිනා වෙලා ගුමන්ගේ අතේ එල්ලිලා අපිත් එක්ක හිනා වෙලා යන්න ගියා..


එදා ඒ ලොරියට ගුමන්ගේ වාහනේ යට වුනේ නැත්නම් හැමදේම හරිම සාමාන්‍ය වෙනවා....අපි දුවව බලන්න යාවි..දුව අපිව බලන්න ඒවි.. දුව මළ දරුවෙක් උපද්දවලා නව දරුවෙක් වෙනුවෙන් බලාගෙන ඉදීවි...


අපි ගුමන්ගේ මළගෙදර ඉන්නේ.. දුවට කිසි දෙයක් මතක නෑ.. දොස්තර එන්න කලින් දුවව බලන්න යන්න ඔනි..


කතාව____


පුංචි වා සුළියක් මැද්දෙන් මාව ගහගෙන ගිහින් පොඩි වේදිකාවක් උඩට කඩාගෙන වැටුණා..


පුංචි මේසයක් ලඟට වෙලා ලොකු පොතක් තියාගෙන ඉන්න හාදයෙක් ඝන සුදු ඇහිබැම පාත් කරලා මගේ දිහා බලලා හින වුනා..


"ගුමන් නේද"


"ඔව්"


"මට කණගාටුයි  ඔයා මේ වෙනකොටත් මැරිලා ඉන්න එක ගැන..ඔයාගේ පව් ලයිස්තුව ගැන සළකලා බලනකොට පින් ලයිස්තුව බොහොම පොඩියි... බරපතලම කාරණාවකුත් තියෙනවා.. ඒක.."


"ඒක මම ගත්ත ක්ෂණික තීරණයක්.. මට ඔනි වුනේ නෝනට කරදරයක් නොවී බබාව විතරක් නැති වෙන විදිහට මේ ඇක්සිඩන්ට් එක කරන්න...මගේ ගණනය වැරදුනා..නැත්නම් මේ හැමදේම හරි යන්න තිබ්බා"




Comments

Post a Comment