නපුරු රෝස පැළයට ලියමි,












නපුරු රෝස පැළයට ලියමි,

දවස් හරි වේගයෙන් ගෙවෙන එක මගේ වැරැද්දක් නෙමෙයි... අවුරුද්දක අන්තිමට කොහොමත් ඉතිරි වෙලා තියෙන්නේ දිග දවස් චුට්ටයි.. අනිත් ඔක්කෝම දවස් ඔයා එවන පණිවිඩ තරම්ම චූටිම චූටි දවස්.. අද වගේ, චූටිත් නැති දිගත් නැති දවසක ඔයාට මෙහෙම ලියන්න මට සිද්ද වෙලා තියෙනවා..
ආච්චි අම්මා කියන්නේ හැමදේම සිද්ද වෙන්නේ කරුමේ නිසාය කියලා.. වැරදිලා ආච්චිට කහට කෝප්පෙට වැටිච්ච කූඹියෙක් පෙවුනොත් ඒක කූඹියාගේ කරුමය; ආච්චීගේ නියාමය ඒක.. ඔයා කියන්නෙත් අපි මුණගැහුනේ කරුමෙට කියලා නේද?? එතකොට ඒ  කරුමය හොඳ එකක්ද නරක එකක්ද කියලා ඔයා කවදාවත් කියලා නෑ...මම දන්නෙත් නෑ ඒක හරියටම.. කොහොම හරි ඔයා කියන විදිහට මම කරුමය ඔයත් එක්ක ගෙවමින් ඉන්නවා...මටත් එහෙම හිතෙනවා.     

ඔයාගේ පූස් නියපොතු වගේ උල් කටු වලින් මගේ හදවතම සීරිලා.. පුංචි රතු උල්පත් ගොඩක් වගේ ඒ සීරිච්ච තැන් වලින් දැන් අවුරුදු හතරක් තිස්සේ එක දිගට ලේ ගලනවා.. 'හොඳ ළමයි අඬන්නේ නෑ' අම්මා කිව්වේ නම් එහෙමයි.. මම දැන් නරක ළමයෙක් වෙලා හැමදාම රෑට අඬනවා...ඔයාට මම අඬන එක ගානක් නෑ.. රෝස ගස් අඬන්නේ නැති නිසා වෙන්න ඇති ඒ..මම දුකින් විත්තිය ඔයාට කිව්වට ඔයාට ඒත් ගාණක් නෑ... ඒ නිසා මම නරක ළමයෙක් වගේ අඬන ගමන් ඔයාට 'දුෂ්ටයා'  කියලා බනිනවා.. ඔයා දුෂ්ටයෙක්ද කියලා මම දන්නේ නෑ.. ඒත් මම දන්න එකම නරක වචනය ඒක..මම හෙමින් දුෂ්ටයා කියලා බනින කොට ඔයාට නිදිමත හැදෙනවා..අන්තිම නැව අල්ලගන්න වරායට දුවනවා...නැත්නම් එක පාරට ෆෝන් එක කට් වෙනවා..      

තාත්තා කියන්නේ ඔනිම කතාවක් 'ආතල්'  වෙන්න නම් දුෂ්ටයෙක් ඉන්නම ඔනි කියලා.. ඔයා දුෂ්ටයා වෙලා ඔයාම ආදරවන්තයා වෙන එක හින්දි සිනමාවට ගැලපෙන එකක් නෑ කිව්වේ මගේ හොඳම යාලුවා... අපිට තිබ්බේ දුෂ්ටයන් රහිත කලාපයකට වෙලා මූණට මූණ බලාගෙන ඉන්න.. ඔයාට කම්මැලි හිතුනා නේද?? ඒක තමා අර නපුරු මන්තරකාරිව උස්සගෙන ඇවිත් අපි දෙන්නා මැද්දෙන් වාඩි කෙරෙව්වේ..
ඔයා දන්නවද නපුරු මන්තරකාරියෝ ගැන..එයාලගේ විශේෂම දේ තමයි නපුරුවීම.. එයත් එහෙමයි.. එයත් නපුරුයි.. එයා ඔයාගේ කොළෙන් කොළේ ඔයාට නොදැනෙන්න ගලවලා බිමට දමාවී..මුල් වලට සහිඳ ලුණු වත්කරාවී..මම ඉන්නේ බයෙන්.. මං ගැන.. මොකද මම කියන්නෙත් ඔයාම බව මම දන්න නිසා.. ඔයාගේ ඇස් වලට එයා මොකක් හරි මායාවක් කරලා ඇති..   මාව කැතට පේන්න..මාව භූත පැටියෙක් වගේ පේන්න... මට බයයි දැන් අන්තිම කියන වචනෙට.. අන්තිමට මායාකරියෝ දිනන කතා නැති වුනත්, අන්තිමට එයා දින්නොත්..ඒ හැමදේම අන්තිමට තමා..අන්තිමට අන්තිමට අන්තිමට.. භායනකම වචනය අන්තිම..

හැමෝම කියන්නේ ඔයාව නපුරු මායාකරිටම දීලා දාලා සීනියාස්  වගේ අහිංසක කෙනෙක් ගැන හිතලා බලන්න කියලා...ඒත් මම ආදරේ එකම රෝස ගහ ඔයා විතරයි...උල් කටු තිබ්බත්, දුෂ්ට වුනත්, සීරුම් තුවාල ඇති කලත්,මේ වෙනකොටත් නපුරු මායාකාරිට  කෝල් කරමින් ඉන්නවා වුනත් ආදරේ බරපතල විදිහට  ඔයාට විතරක්ම වීම;මට පුදුමයි...

මැජික් යෂ්ටියක් නැතිව,ෆෝන් එකට රීලෝඩ් දාන්න සල්ලි නැතිව, නිතර කෝල් කරලා හොයලා බලන්න වෙලාවක් නැතිව වුනත්  මේ නපුරු මායාකාරිගෙන් ඔයාව බේරගන්න සටන් කරන්න මම කැමතියි...ඊට පස්සේ සුරංගනා කතාවල වගේ "හැමදාම සතුටින් හිටියා" කියලා අපිට  කතා පොතක් ලියන්න පුලුවන් වේවි..
  මේ ලියුම මන්තරකාරීට කියවන්න දෙන්න එපා... මේ ලියුම එක්ක එවන කාමරංකා ගෙඩිය ඔයාට... සීනී අමාරුවට එව්වා හොඳයි .... මම ඔයාව බේරගන්න එනකන් ඔයා බේරිලා ඉන්න..

දිග දවසක ඔයාගේ ලස්සන මලක් පිපේවි.. ඒ දවසේ හිනා වෙලා ඔයා ලඟින් මම හිටගෙන ඉන්න පින්තූරයක් ගන්න මම බලන් ඉන්නවා..  ඒ දිග දවසට එන්න දෙන්නේ නැතිව කොස්සක් හරස් කරන් ඉන්න මන්තරකාරිගෙන් ඒ දවස අපි බේර ගන්න ඔනි.. ඔයා මට උදව් කරනවා නේද? ඔයාව මට බේරගන්න උදව් කරනවා නේද??

මීට ,
අහිංසක,
මම.

Comments

  1. කවද්ද නපුරු පූස් පැටියට කැම්පස් පටන් ගන්නේ?

    ReplyDelete
    Replies
    1. විස්ස පටන් ගන්නවා.. ඒ කියන්නේ සඳුදා :D

      Delete
  2. //ඔයා මට උදව් කරනවා නේද? ඔයාව මට බේරගන්න උදව් කරනවා නේද?? //
    හරිම ලස්සනයි ♥️

    ReplyDelete

Post a Comment

Popular Posts