මා නිවන්නේ ඔබය
මේ නාස්ති වී යන දින,ඔබ ප්‍රේමයෙන් පිරවිය යුතුව තිබූ දිනයන්ය..ඉටිපන්දම් සුවඳ ඔස්සේ අතීතයේ සුවඳ පැමිණිමේ ශෝකීය භාවනාවක ගිලෙමින් ඔබ ගැන සෙවීමට දෙවියන් වහන්සේ මා හට, ඔක්තෝම්බරය නම් කඩදහියේ ඔතා සරතය තැපෑලෙන් එවා ඇත්තේය..
සෑම ගසක්ම තම ආත්මය මත තැවරිය හැකි වර්ණවත්ම වර්ණයන් තවරාගෙන ආත්මාභික්නික්මනකට සැරසෙනු පෙනෙයි... සරතය,ක්‍රිම්සන් පැහැතිය,මළානික උද්යෝගයේ පීත පැහැතිය..සත්තකින්ම සරතය දුක් පැහැතිය.. දුක වර්ණවත් බව කියා දුන්නේ ඔබය..ඔබ සරතය මත දුක විසුරුවා අවසන්ය..මම,මේ ආශ්වාස කරන්නේ ඒ දුක බව ඔබ දන්නවාද?? නැත..ඔබ කිසිත් දන්නේ නැත..
අප අතර ඉවසාගත නොහැකි වෙන්වීම්ය,දෙදරා යන තරම් හීල්ලීම්ය,ඔබ මවා ඉතිරි කළ මට තරණය කළ නොහැකි කුඩා මුහුදක්ය..ඔබ මා නොසළකා හරිමින් කෙසේ නම් සිටින්නද.. බලන්න.. මගේ දෑත් මත ඔබගේ හදවත ගැහෙන යුරු..ඔබ සම්පූර්ණ වන්නේ මා අසල පමණියි..මම ඔබ නිසාවෙන් සම්පූර්ණ වන කුඩා දේවාත්මයක්මි..
ආදරය ඔබ රැගෙන එන්නට පොරොන්දු වූ කුඩා අත් ඔරලෝසුව තුළින් මම දකිමි..ඔබ අප වෙනුවෙන් මිලට ගත් නිවස්නේ දම්පාට බිතු තුළින් දකිමි...ඔබ මට ස්පර්ෂයෙන් තොරව පවා දැනෙයි.. ඔබ දුකින් සිටින විට මා අවට සුලඟ පවා ඔබේ සුවඳින් තැවෙයි...මම එතරම්ම ප්‍රේමයෙන්මි.. ඔබෙ ඇස් වලින් මා දකින්නේ මා පමණියි..
මා දකින්නේ සරල සුන්දර සිහිනයන්ය...ඒ සෑම සිහිනයකම ඔබ සිටීම නම් අහම්බයක් නම් විය නොහැකිය..ඔබ මගේ සිහින පවා මට සොරෙන් සොරාගෙන ඇති හැටි!! ඔබෙ උරහිස මත හිස තබාගෙන සිටින සිහිනයක මා අතරමන් වීමට රිසි වෙමි...පොත් කන්දක් මත සිට ඔබ මට ඇහෙන්නට මා ලියූ කවි කියවනා සිහිනයක ඡායාපිටපතක් ගැනීමට ආසා කරමි.. ඔබ දන්නවාද??මට අවැසි ඔබ පමණක්ම බව....අවුරුදු ගණනාවක් ඔබ නිසාම දැවෙමින් නිවෙමින් ඔබවම පතන්නෙ ඇයිදැයි මම නොදන්නෙමි..මම අනුවන ඇතී.. ප්‍රේමයෙන් මා සිහිමුලාවක හෙලනු ඇතී..
සියළු පිටවෙන දොරවල් වසා
මට පිටවෙන්න බලකරන
ඔබේ දැවෙන ඇස් වලින් දකින්නෙමි
සංසාරයම තෙත් කළ ස්නේහය
මම රිදවනා විට ඔබව
ඔබ රිදෙන බව නොපෙන්වන
මට රිදෙන හැම වරම
මා නිවන්නේ ඔබය..........
අම්මෝ හරි වේදනාත්මක කවියක්නේ
ReplyDeleteniyami!
ReplyDelete