හිරු ග්‍රහණය

එතකොට මම නවය වසරේ.. සමහර ළමයි එක්ස් රේ කාඩ් අරන් ඇවිත් තිබ්බා.. සමහරු දැළි වලින් කළු කරපු වීදුරු කෑළි සාක්කු වල දාගෙන ඇවිත් තිබ්බා.. ගොඩක් අය ඇවිත් තිබ්බේ නිකන්...මුකුත් නැතිව..මං වගේ.. අත් දෙක වනවනා...

"අද සූර්ය ග්‍රහණයක්ලු"


මධූ එහෙම කියන ගමන් බෑග් එකෙන් එක්ස් රේ කාඩ් එකක් අරගෙන මේස උඩින් තිබ්බා...


"මේ බලන්නකෝ හලෝ.. මගේ ඇට කටු පේන හැටි..මේ සුදු පාට හෙවනැල්ල පෙනහළු.."


මධූ කට උල් කරලා කියන ගමන් එක්ස් රේ එක මගේ මේස ලාච්චුවට දාලා උදේට කන්න අත සෝද ගන්න කියලා ටැප් එක ගාවට දිව්වා..

එක්ස් රේ කාඩ් ගඳයි..ඒ වගේම හෙලවෙන කොට "බල බල බල" කියලා අමුතු සද්දයක් එනවා..මම එක්ස් රේ කාඩ්  එකේ කොණක් හපලා බැලුවා..  දියාරු රහක් එන්නේ..ඒත් දිගටම හප හපා ඉන්න හිතෙනවා...මධූ එන්න කලියෙන් මම ආයිත් තිබ්බ තැනම ඒක තියලා විද්‍යාව පොත බෑග් එකෙන් අරගෙන පෙරළා ගත්තා..

මට තවම මතකයි පිටුව, එකසිය විස්ස හරි විසි එක හරි වෙන්න ඔනි... රතු අකුරෙන් පොතේ උඩින් ලියලා තිබ්බේ සූර්ය ග්‍රහණය කියලා...පිටුවේ කෙළවරක පුංචි අගුටුමිටි හඳක් දෙහි ගෙඩියක් තරම් ඉරකයි ටීක් බෝලයක් තරම් පෘතුවියටයි මැද්දට වෙලා ඉන්නවා...ඉරට වඩා හඳ කොච්චර පුංචිද නේද.. පුංචි හඳ ඉර වහගන්නේ කොහොමද කියන එක පුදුමයි ... දන්නවද මට තාමත් පුදුමයි ඒ ගැන..ඒත් නිමාලි හිටියේ ඒ ගැන පුදුමයෙන් නෙමෙයි...එයා කළු ලෑල්ලේ මොනවද ඇඳ ඇඳ ඉස්සරහ පෝළිමේ ළමයින්ට විස්තර කියනවා... එයා පංතියේ පළවෙනියා නිසා බොරු කිව්වාත් පිළිගන්නවා.. මට එයා කියන දේවල් තේරෙන්නේ නෑ... විකාර..


"මේක තමාලු ලංකාවට අවුරුදු දහයකින් පේන එකම සූර්ය ග්‍රහණය"


හැමෝම නර්මදා දිහා බලාගෙන හිටියා.. එයා ආච්චිගේ ජෝතිශ්‍ය පත්තරයක් අරගෙන ඇවිත් පිටි පස්සේ පෝළිමේ තියාගෙන කියවන කොට මමත් එතනට ගිහින් වාඩි වුනා..නිමාලි වගේ නෙමෙයි නර්මදා.. නර්මදා කියන දේවල් තේරෙනවා... හිත හොඳ කෙල්ල කළු වුනාට ටිකක්..

"රටට හොඳ නෑලු...ලඟදිම සුනාමියක් එනවාය කියලා නෙහ් ලියලා තියෙන්නේ..අනික මේක වෙන්නේ ධනු රාශියේලු.. අනේ දෙයියනේ මම ධනු ලග්නේ.. මට මොනා හරි වෙයිද කෙල්ලන්නේ"


නර්මදා එහෙම කියන ගමන් දෙපාරක් කැස්සා..නර්මදා කලන්තේ දාන්න වගේ ඇස් ගෙඩි උඩ තියාගෙන හිටියා..කට්ටිය පත්තරේට පොර කාපු නිසා පත්තරේ කෑළි කෑළි වලට ඉරිලා ගියා..

"අනේ ඇත්තට..මම අම්මාට කෝල් කරලා කියන්නම් කොහෙවත් යන්න එපා කියලා"

එහෙම කියලා පුටු පෙරලගෙන දිව්වේ මධූ..අපි හිටියෙත් බය වෙලා... අපි කිව්වාට ගොඩක්ම මම.. මට අම්මාට කෝල් එකක් ගන්න අතේ සල්ලි නැති නිසා ඇඬෙන්න ආවා..මොනා කරන්න කියලද ඉතින්...


ග්‍රහණය පටන් ගන්නකොට අපි හැමෝම එළියට ගිහින් අහස දිහා බැලුවත් එකම එක තනි වළාකුළක් වත් අහසේ තිබ්බේ නෑ... ඉර එළියට පිච්චි පිච්චි ළමයි පිට්ටනියේ කලින්දා වැස්ස නිසා හැදිච්ච මඩ වතුර වළවල් වලින් ඉර දිහා බලාගෙන හිටියා...

"ඉර දිහා කෙළින් බලන්න එපා.. අන්ධ වෙන්න පුළුවන් ළමයි"

විද්‍යාව ටීචර් හැමතැනම කෑ ගහ ගහා ගියාට ගොඩක් ළමයි ටීවී එකෙන් ඒ ගැන දැනගෙන හිටිය නිසා කවුරුත් ගාණකට ගත්තේ නෑ...
ඒක පටන් ගත්තේ හරිම හෙමිහිට... මමයි මධූයි එයාගේ එක්ස් රේ කාඩ් එක දෙකට කපලා බාගේ බාගේ බෙදා ගත්තා...ඒකෙන් ඉර දිහා බලනකොට ඇස් වලට අමාරුවක් නෑ.. ඉර කව කට්ටෙන් ඇඳපු රවුමක් වගේ ලස්සනයි..ඒ වගේ ගොඩක් සැරට ගිනි ගනිමින් තිබ්බා...මුලින්ම තද කළු චාපයක් ඇවිත් ඉරෙන් කෑල්ලක් වහගත්තා...එහෙම ටිකෙන් ටික ඉරෙන් බාගයක්ම වැහිලා ගියාම "මේක අර්ධ සූරය ග්‍රහණයක්" කියලා මධූ ඉර දිහා බලාගෙනම කිව්වා..අර්ධයක් නම් බාගයක්... දැන් ඉරෙන් බාගයක් අතුරුදහන් වෙලා එක්ස් රේ කාඩ් එකෙන් පේනවා..ඒක නිකන් හීනයක් වගේ... අච්චු පොතේ ඉර වගේ නෙමෙයි.. මේ ඉරට පණ තියෙනවා... ටිකෙන් ටික එළිය අඩු වෙලා හැන්දෑව හතරට තියෙන ළා එළියක් විතරක් ඉතුරු වෙලා තිබ්බා.. සමහරු ඈනුම් ඇරියා...කුරුල්ලෝ සමහරු කූඩු වලට පියාඹන්න පටන් ගත්තා..  



මට ඔනි වුනේ නෑ දිගටම බෙල්ල කඩාගෙන බාගයක් නැති ඉර දිහා බලන් ඉන්න.. මම එක්ස් රේ කාඩ් එක මධූට දීලා මාර ගහ යටට වෙලා ඉඳගෙන හිටියා... මාර ගහේ කොළ වල හෙවනැලි බාගයක් වෙලා වගේ පේනවා... පුංචි පුංචි අසම්පූර්ණ  හෙවනැලි කෝටියක් මහ පොළව උඩ ඉතිරි වෙලා තිබ්බා...හැමෝම බලාගෙන හිටියේ උඩ.. බිම බලාගෙන හිටියේ මම විතරයි...ඉර සම්පූර්ණ නැත්නම් හෙවනැල්ලක්වත් සම්පූර්ණ නෑ නේද කියන එක මම එදා මාර ගහ යට ඉදන් කල්පනා කළා...අපිට තනියම සම්පූර්ණ වෙන්න පුළුවන්ද... හෙවනැල්ලකට නම් බෑ.. හෙවනැල්ලකට සම්පූර්ණ ඉරක් ඔනි..


ගොඩක් ළමයි එක්ස් රේ කාඩ් වලින් විතරක් බලලා නතර වුනේ නෑ.. සමහරු  පියවි ඇහෙන් බලලා පවා තිබ්බා.. හැබැයි කවුරුත් අන්ධ වුනේ නම් නෑ...මොනා වුනත් එදා අපිට ඉගැන්නුවේ නෑ... ටීචර්ස්ලා පවා හිටියේ උඩ බලාගෙන නිසා ළමයින්ව පේන්න විදිහක් තිබ්බේ නෑ...ග්‍රහණය ඉවර  වුනාට පස්සේ අපි එකතු වෙලා සිංදු කිව්වා..."ඒක මරු.. හරි ලස්සනයි නේද" මධූ  ඩෙස් එකට ගහන ගමන් " ඉරට අකීකරු" සිංදුව කියන්න පටන් ගත්තා.. ඒදා මම බාගෙට ලියපු රචනාව බලන්න සිංහල මිස් ආවේ නෑ...ඉතින් මම ඒක සම්පූර්ණයෙන් ලියන්න මහන්සි නොවී ඉන්න හිත හදා ගත්තා..  

*******************************************
"ඔයා අහගෙනද ඒයි ඉන්නේ?"

"හ්ම්ම්"

"මම නවය වසරෙදි ඔයා කීය වසරෙද?"

"කට වහගෙන ඉන්නකෝ... මේ නිව්ස් බලන්න දීලා..ඇමරිකාවට සූර්ය ග්‍රහණයක්ලු.. ට්‍රම්ප්කාරයා දැක්කද බලන් ඉන්න විදිහ.. අර අර කණ්ණාඩි දෙයකක්වත් නෑ.. පිස්සෙක්"

"ඒක එයාගේ කැමැත්ත නෙහ්"

"ජනාධිපති කෙනෙක්ට පුළුවන්ද එහෙම කැමති කැමති දේවල් කරන්න"
"ඇයි සූර්ය ග්‍රහණයක් බලන්නවත් බෑද ඒ මිනිහට නිදහසේ"


Comments

  1. //ජනාධිපති කෙනෙක්ට පුළුවන්ද එහෙම කැමති කැමති දේවල් කරන්න//
    ඉස්සර ලංකාවෙ හිටපු කෙනාට පුලුවන් හිටං. දැන් කෙනාට නම් බෑ මං හිතන්නෙ

    ReplyDelete
  2. අමා නුඹ මා නැවත නැවතත් ඔබේ වචනයහි ග්‍රහනයට නතු කරගන්නා අරුමය පිලිබඳ වදන් නොමැත...

    ReplyDelete
  3. මේ වචන නම්... ❤️
    අනේ මන්දා
    ලියමන විශිෂ්ට යි අමා...

    ReplyDelete

Post a Comment

Popular Posts