කපුමහත්තයා










"කුසුමෙට තිබ්බේ මිනිහට ඉනාවක් හරි දීලා ගෙට ගාල් කරගන්න"


කරුණා බුලත් කාලාම  රතු වෙච්චි කට උල් කරලා  දොරකඩ ඉස්සරහම කුනු ලේ පාට බුලත් කෙළ තලියක් ගැහුවා..පස්සේ එහෙන් මෙහෙන් ඉදිච්ච කෙස්ස කස කසා ඇවිත් ඉස්තෝප්පු පඩියක් උඩින් වාඩි වෙලා චීත්තේ පොටේ අස්සෙන් ආයිත් බුලත් දුම් කොළ ටිකක් ඩැහැගෙන හක්කට හලා ගත්තා...


"අනේ මේ කරුණෝ... උඹ මේ ඉවක් බවක් නැතිව කෙළ ගහලා ගියාට පස්සේ මමයි පොඩි එකීගෙන් පද අහන්න ඔනි..."

"අනේ උඹේ නල්ලමලේ පොඩි බඩ්ඩ..මේ උඹ ගාව තීනම් මට පුවක් කෑල්ලක් දීන්කෝ..මගේ පුවක් කෑල්ල රෙද්ද පල්ලෙන් වැටිලා මයේ හිතේ.."

කුසුමේ අතේ තිබ්බ පුවක් කෑල්ල 'ඉඳා' කියලා කරුණාගේ ඔඩොක්කුවට වැටෙන විදිහට විසි කළා..දැන් හැන්දෑවේ මුල කොටහා පටන් අරගෙන ඉවරයි..හෙන්දිරික්කා ගස් වල මල් පිපිලා ඒ සුවඳ හුලඟට දිය වෙලා ගිහින්..ඉරේ රැස් අඩු වුනත් අගෝස්තු දාහේ නම් අඩුවක් පාඩුවක් නැති නිසා කරුණයි කුසුමෙයි දෙන්නම රේස් පත්තර දෙකකින් පවන් ගහ ගන්නවා... රේස් පත්තර මිටිය බුකියෙන් ඉල්ලගෙන එන්නේ කරුණා බත් ඔතන්න..කුසුමේ පොඩි එකීට බත් බැඳලා යවන්න ඉස්සර පත්තරයක් දෙකක් ඉල්ල එහෙම ගත්තා.... "අම්මට ඔළුව අමාරුවද?රේස් පත්තර වල බත් ඔතාගෙන වැඩට යන්න කියන්නේ මට" කියලා පොඩි එකී කිව්ව දා ඉදන් රේස් පත්තර ගන්නේ පවන් ගහන්න වගේ කාරියක්ට තමා..

"දැන් උඹ කරන්න හිතන් ඉන්නේ මොකක්ද බන් කුසුමෝ"

කරුණා ආයිත් කෙළ පාරක් ඉස්සෙල්ලා ගහපු තැනටම ගහලා පිට අත්ලෙන් කට පිහ ගත්තා..බුලත් කෙල කටේ පුරෝගෙන කතා කරපු කුසුමාගේ කට හඬෙන් ආවේ ගොර ගොර සද්දයක්..


"මගේ මිනිහා මළාය කියලා තුන් මාසයක් බලලා උඩහ පන්සලට හීලයක් දෙනවා"


"ඊට හොඳ නැද්ද තුන් මුල්ලේ කාලි කෝවිලේ ගිහින් පොල් ගෙඩියක් ගැහුවා නම්.."

"පොල්?? ඌට?? අනේ මොකටද බන් පොල් ගෙඩියක් නාස්ති කරන්නේ.. ඌට මදනයා ගහලා ගියා නම් අර බඩ්ඩ ගාවට මට මොකෝ බන්"

කුසුමේ බර හුස්මක් අරගෙන පිට කළා.. සමහර වෙලාවට මිනිස්සු කටින් පිට වෙන්නේ  හිතෙන් පිට වෙන වචන නෙමෙයි... කුසුමේගේ ඇස් අග යාන්තමට තිබ්බ රැළි වලට තව එකක් එකතු වෙලා ඇස් හීනි වුනා..මූණ ටිකක් කළු වෙලා ඇස් බොර වුනා..


"නමට හරි පිරිමි පුළුටක් ඉන්න එක ගෑනියෙක්ට හයියක් බන් කුසුමේ...උඹ දන්නවා නෙහ් මගේ මිනිහා වළ පල්ලට ගිය දා ඉදන් මම විදපු කරදර කන්දරාවක තරම...කඩිප්පුලි කතා කොච්චර හැදුනා කියලද"


"මට දැන් මිනිහෙක් හාම්බාන් කරගන්න අමාරුයි බන්...මම දැන් වයසයි..ගෑනුන්ට වගේ නෙමෙයි පිරිමින්ට..උන්ගේ විසේ පණ කෙන්ද තියෙනකන් තියෙනවා නෙහ්"


කරුණා පවන් ගහන එක නවත්තලා දාලා තිබ්බෙ ඒ වෙනකොට..හීනි ළා කළුවරක් නැගෙනහිරෙන් බටහිරට ගහගෙන එමින් තිබ්බා..කරුණා නැගිට්ටේ ගෙදර යන්න හිතාගෙන වුනත් ඈතින් සද්ද කරගෙන එන චූන් පාන් ලොරිය දැකලා වැට ගාවට දුවලා ගිහින් කුසුමේටත් එක්ක රෝස් පාන්  දෙකක් අරගෙන ඇවිත් ආයිමත් වාඩි වෙලා කට සේදිල්ලක් නැතිවම වාටියක් හපන්න පටන් ගත්තා...


"පොඩි එකී දීග දෙන වයසේ වෙච්චි උඹට නැතත් ඒකිට කුණු කතා අහන්නේ නැතිව මිනිහෙක් එක්ක යන්න පඹයෙක් වගේ වත් තාත්තෙක් ඔනි නේද කුසුමේ..."


"හ්ම්ම්.. මම මොනා කරන්නද බන්...මේක මගේ ලැබීම..ගෑනිට සද්දාවෙන් ඉන්න මිනිහෙක් ලැබෙන්න ආත්ම ගාණක් පෙරුම් පුරන්න ඔනි..ලබන ආත්මේ නම් මෙහෙම මිනිස්සු නොපතන් කිව්වා ඔන්න"


කුසුමේගේ ඇස් වල කඳුළු පිරෙන්න පටන් අරගෙන තිබ්බේ..කරුණා ඉස්සරහා ඇඬුවොත් ඒක කුසුමේගේ හිතට මදි කමක් වගේ ඇති..ඒ නිසා ඇස් දෙක පොඩි කරලා කඳුළු එන එක නවත්ත ගත්තා..  


"ඇයි යකඩෝ... මම රෝස් පාන් අරන් ආවේ මෙහෙම නිකන් කන්න කියලෑ බන්... වරෙන් කුස්සියට යමු කහට ඩිංගිත්තක් වක්කරගන්න"


කරුණාගේ හිනාවට  කුසුමේටත් ඉබේම හිනා ගියා.. දෙන්නත් එක්ක කුස්සියට පැත්තට ගියා..කුසුමේ කළු ගැහිච්ච කේතේ දර ලිප උඩ තියලා පොල් හනස්සක් පත්තු කරලා ලිපට එබුවා..


"මොකක්ද බන් මේ දුම් නාන වැඩේ කුසුමේ...ගනින්කෝ බන් පොඩි එකීට කියලා ගෑස් ලිපක්... සුටුස් ගලා ගහපු ගමන් වතුට රත් වෙන්නේ"

"ඒකිගෙන් සල්ලි ගන්නේ කොහොමද බන්..ඒකී පොතේ කීය කීය හරි දාගෙන තියාගෙන ඉන්නේ ඒකිටය කියලා... අපි කියලා ලබ්බක් ඉතිරි කරලා කියලාද"


"මම නම් ගෑස් ලිපක් අරගත්තා..."


කරුණා ඇස් ටිකක් ලොකු කරලා පත්තු වෙන ලිප දිහා බලාගෙන කිව්වා..


"අපිට කොහෙද බන් අතට සල්ලියක්... මගේ මිනිහත් ගිය  එකේ"


"ඒක තමා මම කිව්වේ  මාත්  එක්ක කාලි කෝවිලට යමු කියලා... හත් දවසෙන් මිනිහා ගෙදර..ඇගිනස්ගේ දුවගේ මිනිහව ගෙන්න ගත්තේ යස අගේට ඔය කෝවිලේ පොල් ගහලා තාමා...ඇයි ඇසිලින්ගේ පුතාගේ මගුල කැඩුවෙත් ඔතනින් දෙහි කප්පවලා..මම තමා තැන කිව්වේ ඉතින් හැමෝටම...කාගේ උනත් දුක නෙහ් බන්... මම ඉතින් දන්න හැමෝවම එතනට එක්කන් යනවා"


"හැබෑටම.. උඹ කොහොමද ඔච්චරට ඔය විස්තර දන්නේ ඈ"


කුසුමේ දුම් සැරට කෙවෙන ඇස් පොඩි කරන ගමන් ඇහුවා..


"කෝවිලේ කපුවා මාව දන්නවා හොඳටම..සීදේවි මිනිහා..රතුයි උසයි..අපිටත් හරියට උදව්..ගෑස් ලිප අරන් දුන්නෙත් ඒ මහත්තයා තමා...මාත් එක්ක කෙම්මුර දවසක යමන්... පොල් ගෙඩියක් ගහන්න රුපියල් පන්සීයක් යාවි..උඹට පොඩි එකීගෙන් ඉල්ලගන්න ඇහැකි නෙව..ඒ මහත්තයා තමා මගේ ඉනේ සුරේ බැඳෙත්"


කරුණා බිම බලාගෙන හිනා වුනා...කුසුමේ ගින්දර වගේ උණු වතුර තේ කොළ මන්ඩි උඩින් වක්කෙරුවා

Comments

  1. නියමයි. අමා. නියමයි

    ReplyDelete
    Replies
    1. සීදේවි මිනිහා..රතුයි උසයි..අපිටත් හරියට උදව්..ගෑස් ලිප අරන් දුන්නෙත් ඒ මහත්තයා තමා...මාත් එක්ක කෙම්මුර දවසක යමන්.. ඉයන් චරිතයක් සල්ලි බාග තියන නිසා අතපය නැතව ඔයවගේ දෙවල් වලට නියමයි කියනවා

      Delete
  2. ඉනේ සුරයක් බදීද?

    ReplyDelete
  3. මරු.. පුතේ.. සමාර තැන් වල අකුරු අඩුපාඩු තියෙනවා. බලල හදහං.. රසේ එනකොට ඒවා තිබුනම අඩුවක්.. ජය

    ReplyDelete
  4. ලස්සනයි අමා.

    ජයවේවා!!!

    ReplyDelete
  5. හරි නෑ බොල. පරණ මාතෘකාවක් . අර ඉස්සර හිටපු අමාව කැන්දන් වර.

    ReplyDelete

Post a Comment

Popular Posts