Saturday, March 18, 2017

විස්මලන්තයට



මාව කන්දකින් පහලට පෙරලුනා.රවුම් ගලක් වගේ කන්දේ බෑවුමේ තියෙන තම්පලා ගස්,මොනරකුඩුම්බිය ගස්,තණ ගස් පොඩි කරගෙන පහලට පහලට රෝල් වුනා.මගේ කකුල් තුවාල වෙලා වග දැනුනත් තුවාල කැළැල් හොයාගන්න තිබ්බේ නැහැ.අන්තිමට පෙරලීම නතර වුනේ අපේ ගේ ගාවින්. ඒ මම රට ගිහින් හම්බකරපු සල්ලි වලින් හදපු රට උළු දාපු, සිමෙන්ති ගලින් බිත්ති නග්ගපු අලුත් අපේ ගෙදර ගාවින් නෙමෙයි.අප්පච්චි කැලේ ගිහින් හොයාගෙන ආපු මැට්ටෙන් බිත්ති වරිච්චි බැඳපු, අම්මා එයාගේ අත් දෙකෙන් අනපු ගොම මැට්ටෙන් බිම පිළිවෙල කරපු, හොඳ ලස්සනට වියාපු කහ ගැහිච්ච පොල් අතු හෙවිලි කරපු අපේ පරණ ගෙදර ලඟින්.

හැමදේම ආච්චි අම්මාගේ මඟුල් පොටෝ එක වගේ කළු සුදු පාටයි.කළු සුදු කිව්වේ ලේසියට.ඇත්තටම ඒ පාටට කියන්න පුළුවන් හොඳම නම පරණ පාට.අපේ ගේ ඉස්සරහා තියෙන වැලි ගොඩේ පොල් කටුවක් අතේ තියාගෙන කෝම්පිට්ටු හදන පොඩි හඩු කෙල්ල,මම විත්තිය මම අඳුන ගත්තේ කොළ පාට ගවුමෙන්.ඒ ගවුම මම ආසම ගවුම් වලින් එකක්.අම්මා සිංහල අවුරුද්ද දාක ගෙනත් දුන්න.මමපොඩිමගේ ලඟට ගිහින් එයා ලඟින් දණ ගහගත්තා.එයාගේ වැලි ගෑවිච්ච අත් අල්ලලා බලන්න මට ඕනි වුනත්, මට කිසිම දෙයක් අල්ලා බලන්න බැරි විත්තිය තේරුනේ එතකොට.මම හෙවනැල්ලක් වගේ එයා වටේ රවුමක් ගියා. වැලි අල්ලන්න එපා. පණුගාය හැදෙයිකියලා මට මම කියා ගන්න ඕනි වුනා. පස්සේ මට හිතුනා එහෙම හිත්තිච්ච එක කොච්චර මොට්ටද කියලා.කොච්චර වැලි ඇල්ලුවත් කවමදාවත් මට පණුගාය හැඳිලා තියෙන එකක් යෑ.මම ගේ ඇතුලට ගියාම දැක්කේ අපේ මුළු ගෙදරටම තිබ්බ එකම කාමරේ මුල්ලක සුදු රෙද්දකින් ඔලුව වහගෙන මුට්ටියක දාපු පොල් මලක කෑලි කඩාගෙන කන මාව.අම්මා මගේ ලඟට වෙලා පවන් ගහනවා.කාමරේ පොල් මල ගාවින්ම තියෙන මුට්ටියක මම ආසම කොළ පාට ගවුම ගුලි කරලා දාලා.මම ගිහින් මම ගාවින් වාඩිවුනා.වහපු ජනේලය අස්සෙන් එන ඉර එලිය ඉරි දෙකක් මුණට වැටිලා දිලිසෙනවා.මම පිටිපස්ස දොරෙන් එලියට යනකොට අප්පච්චි දර පලනවා. ලොකු දර කොට අප්පච්චි පුංචි දර කෑලි කරාම අම්මා එව්වා ලිපට දාලා බත් තම්බනවා.ඒ බත් වලින් තමා අපි බඩවල් පුරෝගෙන උස්මහත් වුනේ.මම අප්පච්චි ඉන්න තැනට ලං වෙනකොට අප්පච්චි හුළඟට ගහගෙන ගියා.හරියට දුවිල්ලක් වගේ.ඉතිරි වුනේ ලොකු දර කොටේ විතරයි.පොඩි එක දර කෑල්ලක් වත් ඉතිරි වුනේ නැහැ.අප්පච්චි එක්කම එව්වත් ගහගෙන ගිහින්ද මන්දා.

වත්තේ කෙලවර දඬු වැට ගාව ඉන්න සුදු පාට හාවා දැක්කේ මම එතකොටමයි. අඩි පහයි එකොළහක් විතර උස ඇති.රත්තරන් චේන් එකක් දාගෙන ජන්ඩියට හිටිය නිසා මමත් හිනා වුනා.එයාට මාව පේන විත්තිය තේරුනේ එයාත් අනිත්පැත්තට මාත් එක්ක හිනා වුන නිසා.මට හෙන සතුටුයි.මාව දකින්න පුළුවන් එකෙක් හරි ඉන්න එක.මම අප්පච්චි දාලා ගියපු පොරව අතට ගන්නවා දැකලා එයා මඟේ ලඟට ඇවිත් මගෙන් පොරව ඉල්ලා ගත්තා. දර පලන්න ඕනි නැහැ කිව්වා. ගෑස් ලිපක්ම අරගන්න එයා මට උදව් කරන්නම් කිව්වා.එයා එක්ක සිදාදියට එන්න කිව්වා.මම අම්මාගෙන් අහලා කියන්නම් කියලා ගෙට ගියා. අම්මාගෙන් අහලා එනකන් එයා මිදුලේ ඉගෙන උඳුපියලිය ටිකක් සාරන ටිකක් එහෙම කන්න ඇති.හාවෙක් නෙහ්.අම්මාට මාව පේන්නෙවත් ඇහෙන්නේවත් නැති වෙයි කියලා හිතුනට එයා මම විස්තරේ කියන්න කලින්ම හාකිව්වා.මට වලිතලපයි, තව ඇඳුම් කඩමාලු වගයකුයි ෂොපින් උරේක දාලා දුන්නා.මම හාවා එක්ක නගරෙට ගියේ පොඩි වලක් ඇතුලෙන්.පැය තුනක් බස් එකෙන්.පැය දෙකක් කෝච්චියෙන්. අන්තිමට අපි ආවා.

හැමතැනම වාහන.ගොඩක් දෙනෙක්ට මාව පෙනුනේ නැහැ.ගොඩක් දෙනෙක් හාවෝ.ටික දෙනෙක් මනුස්සයෝ.ටික දෙනෙක් මනුස්ස නොවෙන හාවොත් නොවෙන ජාතියේ අය. හැමදේම කලබලයි.මාව කලබලෙන් එහෙට මෙහෙට යන අයගේ ඇඟේ හැප්පිලා වැටෙන්නත් ගියා.වැටුනත් එක්ක.එත් මම ආයිත් දඩස් බදාස් ගලා නැගිටලා හාවා පස්සෙන්ම ගියා.


හැමෝම කියන්නේ හාවෝ කියන්නේ අහිංසක සත්තු ජාතියක් කියලා වුනත්,මම හිතාගෙන හිටියෙත් එහෙමයි.එත් එක මහා බොරුවක්.හාවෙක් පස්සෙන් ආපු ඕනිම කෙනෙක් එක කියාවි.මම කිව්වේ පස්සෙන් ආපු, එක්කන් ආපු ඕනිම කෙනෙක් ගැන.

හාවා කිව්වේ ගෑස් ලිප තියන්න නම් ගෙයක් ඕනි, ගෑස් ටැංකියක් ඕනි, ඒ වගේම පිඟන් ගඩොල් අල්ලපු පෝරණුවක් ඕනි කියලා. එයා කිව්වා එව්වා ගන්න නම් මට මුහුදු හතක එහාට ගිහින් වැඩ කරන්න වෙයි කියලා.මම හා කිව්වා. අම්මාට උයන්න අලුත් පෝරණුවක් තියෙන එක කොච්චර හොඳ දෙයක්ද කියලා හිතුනා.මම හාවා එක්ක ගියා ඒජන්සියකට.

ඒ ඒජන්සියේ අයිතිකාරයා මොල්ලියක් නැති ඔටුවේ. එත් එයාට විසාල බඩකුයි යි ඔටු කුදෙකුයි තිබුනා.එයා මුහුදු තරණයට ඉල්ලපු ගාන ගෙවන්න අප්පච්චි හදලා දුන්න අරුංගල් දෙකයි, මාලෙයි විකුනන්න වුනා. හාවා නම් කිව්වේ මාල එකට හතක් හදාගන්න පුළුවන් කියලා.එත් අප්පච්චිට ආයිත් මට මාලයක් අරන් දෙන්න පුළුවන් වෙයිද?එයා හුලගේ ගියා නෙහ්.

මම ගියේ කාන්තාරයකට. රට ඉඳි ගස් යට හෙවන නැහැ. දුවිල්ල අස්සෙන් ඔලුව උස්සලා බලන්නේ සර්පයෝ.මට තිබ්බේ සර්පයන්ගේ ඇඳුම් සෝදන්න. මම වැඩ කරපු තැන හැම තැනම කෑම තිබ්බා. පොඩි විස්කෝතු කෑලි වල මාව කන්නකියලා ගහලා තිබ්බා.සර්පයෝ බලන් හිටියේ අපි (මාත් එක්ක එකට වැඩ කරපු අනිත් ගෑනු) ඒ විස්කෝතු වගේ කෑම ජාති කනකන්.ඒ කෑම නොකාවොත් වෙන්නේ මහා බයානක දේවල් විත්තිය සමහර අය කිව්වත් මම ඒ කිසිම දෙයක් කෑවේ නැහැ.ඒ කෑම කාපු සමහරු සිවිලිමේ ගෑවෙන තරම් උස වෙලා පුපුරලා ගියා.තවත් සමහරු පොඩිම පොඩි වෙලා වාෂ්ප වෙලා ගියා.

සර්පයෝ විතරක් ඉන්න කාන්තාරෙක මට හිටපු එකම යාලුවා හේතුවක් නැතිව හිනාවෙලා ඉන්න සිරිමල්.එයා පූසෙක්.එයා කලේ සර්පයන්ගේ බෙන්ස් කාර් එක එලවපු එක. සිරිමල් ගෙදරට කතා කරන වෙලාවට මටත් අපේ ගෙදර කතා කරන්න චාන්ස් එක අරන් දෙනවා. මම මෙහෙ ඉදන් යවන සල්ලි වලින් ගෙයක් හදන්නත් අරගෙන කියලා අම්මා කිව්වේ හෙන ගැම්මෙන්.ඉඩම අරන් තිබ්බේ අයියාගේ නමට.මගේ සල්ලි වුනාට මොකද අයියා නෙහ් කියලා අම්මා කිව්වා.මම හාකිව්වා.සිරිමල් එක පාරට අතුරුදහන් වෙලා ගියා.කට්ටිය කිව්වේ එයාගේ වැඩ හොඳ නැහැ කියලා එලෙව්වා කියලා.මොනා වුනත් අන්තිමට හිනාවෙන පූස් යාලුවා පුස් ගාලා අතුරුදහන් වෙලාම ගියා.

දවසක් සර්පයෙක් මගේ කාමරේට ඇවිත් විස්කෝතුවක් මගේ කටේ බලෙන් ඔබන්න හැදුවා.මම එපා කිව්වත් සර්පයෙක් කකුල් දෙකේ ඉදන් වෙලාගන්න කොට කෙල්ලෙක්ට අමාරුයි නැගිටින්න සර්පයාට විරුද්ධව.මාව සර්පයාට යට වුනා.සර්පයා දෙතුන් පාරක් යටිබඩට දස්ට කළා.මම අඩනකොට සර්පයෙක් මගේ අත් වලට මිටියකින් ඇණ ගහන්න පටන් ගත්තා.තව සර්පයෙක් එක දිගට දස්ට කලා.මට කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ.හාවා වත් පූසා වත් අම්මාවත් රට ඉඳි ගහක්වත් පිහිටට හිටියේ නැහැ.මට මතකයි කවුද මගේ ඔලුවට මොකක් හරි තද දෙකින් ගහනවා වගේ.මට මතක එච්චරයි.


දොස්තර මහත්තයෝ මගේ ලොකු කෙලිට මොකක් වෙලාද දෙයියනේ?”

එයා වැඩ කරපු තැන වෙච්ච සිද්දිය නිසා ටිකක් කම්පනයෙන් වගේ ඉන්නේ. වෙච්ච තුවාල නම් දැන් ගොඩක් දුරට හොඳයි. හිත සනීප වෙන්න නම් කාලයක් යාවි.දුවව මානසික රෝගී සායනයටත් එක්කගෙන එන්න.ඉක්මනට හොඳ කරගන්න පුළුවන් වෙයි.

අනේ මගේ කෙල්ල.අප්පා නැති අහිංසකි.මහත්තයෝ කොහොම හරි බේරලා දෙන්න

දුවට සිහිය ඇවිත් ඇති.අම්මා ගිහින් කතා කරන්න. අපි කරන්න පුළුවන් හැමදේම වගේ කරනවා.බය නොවී ඉන්න
*******************************************
මගේ දුවේ දැන් කොහොමද මගේ පණ.

අම්මා දැන් ගෙදර දර පලන්නේ කවුද?”

3 comments:

  1. මේකේ බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්න කොටි වලස්සු එක්ක ෆෝන් එකෙන් කියවන එක ලේසි නෑ...

    ReplyDelete
  2. පැණි වලලුම තමයි

    ReplyDelete