ආදම් සහ මෝසස්
තම ක්‍රිම්සන් පැහැ පත් බිම හෙළා නිරුවත් වූ පොප්ලර් සහ මේපල් තුරු හිම පියළි වලින් අලුතින් සළු වියනු රිසියෙන් අහස දෙසට අතු විදහා බලා සිටිනු පෙනුණි...ඔහුගේ අනාවැකිය ලෙසටම සිසිරය තරමක් පවා විය...නත්තල ලබන තුරුම චුරු චුරු වැස්සක්,සීතල උතුරු ධ්‍රැව සුලඟක් නැතහොත් අකුණක් හෝ දෙකක් පමණක් හැර අන් කිසිවක් විශේෂයෙන් සිදු නොවීම නිසා බොහෝ පිරිසකගේ හිත් මත ලිබර්ටී යුවතිය සිටගත්තාක් මෙන් බරක් හා නොසන්සුන්කමක් ඇති වෙමින් හා නැති වෙමින් පැවතුණි.......ළමයින් තම සීත කබා ඇඳ ජනෙල් අසලට වී උණුසුම් චොකලට් වීදුරු රස බලන අතරතුර පවා නත්තල් සීයාගෙන් ඉල්ලුවේ හිම පමණියි...නමුතු හිම ඇද වැටුණේ නම් නැති..
ඔහු සිටියේ සියල්ල අතහැරය...නැතහොත් ඔහුව සියල්ල අතහැර ගොස් තිබුණි...ඔහු සිටියේ දෙවියන්ගේ පා පතුළ් යටය...දෙවියන් වහන්සේටද ඔහු නොපෙනුණේ ඒ නිසායැයි සිතෙයි.....අපිටද ඔහුව පෙනෙන්නේ පෙනෙන බව සිතින් සිතා ගත් විටය....ඒ ඔහු එතරම්ම කෙසඟව තම සිරුර බොහෝකල් නඩත්තු කළ නිසා විය හැකිය...
ඔහු නමින් ආදම් වුවද ඔහු නමත් අතහැර තිබුණි....බයිබලයේ උත්පත්ති කතාව පමණක් කියවා තිබූ ඔහුගේ පියාට ආදම් හැර වෙන නමක් සිහි නොවීම පුදුමයක් නොවෙයි....පසු කළෙක ඔහුගේ එකම පුතාටද නමක් බයිබලයෙන්ම ඔහු සොයාගෙන තිබුණි...මෝසස්...පොරොන්දු දේශයට රැගෙන යන්නාය...
මේ කතාව ඔහු ගැන නොවෙයි....ඔහු සියල්ල අතහැර දැමූ පසුව ඔහුගේ කතාව කෙසේ නම් ඉතිරි වෙන්නද ??? ඔහු තම කතාව අතහැරියද මෝසස්ගේ කතාවේ ඔහු සචල සෙවනැල්ලක් මෙන් සිටිනු පෙණෙයි..මෝසස්ගේ කතාවද ඉවර වී හමාරය..නමුදු තවමත් එය කතාවක් මෙන් ඉතිරිව කාලයේ ගින්නට සෙමින් පිළිස්සෙමින් පවතීයි...මේ එළෙස පිළිස්සීමෙන් මිඳුණ පිටු කිහිපයක් විය හැකිය...
එක ග්‍රීස්මයක අලුතින්ම කවි ලියන කොළ සහිත අත්තක හිරු එලියෙන් තෙත මාත්තු කළ හෙවනැල්ලක් වැදුම් කුටියේ දොර මතට තට්ටු කරන ලද ඉරිදාවක මෝසස් මව් කුසෙන් එළියට සළඹ පැටවෙකු සීරුවට අත් තටු ගසන පරිදි පමිණියේය.... පළල් දිව, පැතළි මුහුණ හා ජපන් ඇස් හිමි ඔහු දෙව්ලොවින් නික්මෙන විට බොහෝ දෑ මඟ හළා පැමිණ සිටියේය..
ආදම් තම දියපට්ටා සහ කරගැට පිරුණු දෑතින් නවජ මෝසස්ගේ හිසේ තුනී කෙස් පිරිමදින්නට විය...මෝසස් හා ආදම් මතින් කාලය හමා යන්නට වූයේ අන්න එදා සිටය...
කාලය වළාකුළු හා සම්මඟ හිස හැරුණු අත හමා යනවිට මෝසස්ගේ ඇට මස් ලේ පමණක් කාලානුරූපව වැඩුණි;හැදුණි...මනසේ වර්ධනය ගොළුබෙල්ලෙකු සමනල කඳ නගිනවා ලෙස සෙමින් සිඳුවිය...
ඩවුන්ස් සහලක්ෂණ යටකරගෙන ආදම්ගේ ධාරක ප්‍රේමය නොනවත්වාම ගලා යන්නට විය...මෝසස් අවුරුදු දහයේදීද කටින් කෙළ පෙරාගෙන සිටින විට ස්නේහයෙන් පිසඳැමුවේ ආදම්ය...මෝසස් ආදම්ගේ හදවතින් කොටසක් මරාදමා දෙව්ලොවින් පැමිණිබව සටහන් කළ යුතුමය... ඔහු රඹ කැණක් මෙන් මව මරා පැමිණි බව නොවැදගත් වෙන තරමට ආදම් ඔහු වටා ආලෝකයක් මෙන් පැතුරුණි...
මෝසස් සත්ප්‍රසාද මංගල්‍යයෙන් දින හතකට පසු දෙව්ලොවෙදී අතහැර පැමිණි දෑ නැවත සොයාගෙන යනු වස් හුස්ම ගැනීම නතර කරගත්තේය...එවිට නිතර සිනහසෙන පත්‍රාකාර මුව , කෑම බිම හලන මිටි ඇඟිලි, කොතරම් පීරුවද කොස්සක් මෙන් වූ කොණ්ඩය කාලයේ හීතලින් ගල් ගැසී තිබුණි...ආදම් එදායින් පසුව දෙදාරා කැඹිළි වී යාම නවතවාලිය හැකියෙක් සිටියේ නැත්...
මෝසස් මියගිය පසුව පැමිණි හැම ශීත සෘතුවකම හිම වැටුණේ ජනේරු මාසයේ මැදය...නත්තලට හිම බලාපොරොත්තුවෙන් සිටි ළමයින්ගේ බලාපොරොත්තු බිඳිමින් ආදම්ගේ අනාවැකිය සපතවිය...
මෝසස් දේව දූතයෙක් වූ බව ආදම් පිළිනොගත්තේය... ආදම් මෝසස් දෙව් ලොවෙන් නැවත පැමිණෙන තුරු දේවදාර ලී බංකුව මතට වී බලා සිටියි...
"ආයිමත් නියම කාළයට හිම වැටෙන්නේ මගේ මෝසස් එන දවසකට තමා"
ආදම් තමා වටා කූඹි මෙන් ගොඩ ගැහෙම ළමයින්ට තම ලොඹු කටින් සිනහසෙමින් තවමත් පවසයි....ඒ ළමයින් මෝසස් දැක නැතත් ඔහුට අත්තටු සවි කරන ලදී...නැවත ආදම් සොයා එන්නට දෙව් ලොව සිට සිතියම් අඳින ලදී...ඔහුන් සියළු දෙනාම බලා සිටියේ මෝසස් පොරොන්දු දේශයට ඔහුන් ගෙන යාවි යැයි සිතකින් නොවේ...හිම රැගෙන නැවත පැමිණෙතැයි බලාපොරොත්තුවකිනි...
බාගදා මෝසස්ට පාර වරදින්නට ඇතී...හිම රැගෙන කොහේ හෝ යන්නට ඇතී..
කතෝලික ආගම හා බැඳි චරිත ගැන ලොකු අවබෝධයක් නැතත් මෙහි කියවෙන්නේ දාරක ප්‍රේමයක් ගැන විය යුතුය.
ReplyDeleteඔව්... නම් ගැන වද වෙන්න එපා ^_^
Delete