ප්‍රේමයේ විෂ


 මම මේ සම්බන්ධය පටන් ගන්නේ මඟ නතර කරලා යන්න නෙමෙයි."


චිත්‍රපටයක වගේ, ලස්සන කහ පාට මල් වත්තක් මැද සුදු දිග රැළි ගවුමක් ඇඳගෙන, මම හිත යටින් නටට හිටියේ.. නරක නපුරු හිවල්ලු කිහිප දෙනෙක් සූරලා කෑලි කරපු, කාලයත් එක්ක ඒ තුවාල පෑස්සුන හදවත මම එයා අතින් හෙමින් ගෙනත් තිබ්බා.. 


"මම ඔයාට මෙච්චර කාලයකට සිද්ද වෙච්චි හොඳම දේ වෙන්නම්" කියලා සුදීෂ මගේ අත හෙමින්  ඉඹින ගමන් ෆෝන් එකේ සශිකාගේ සිංදුවක් ප්ලේ වෙන්න දැම්මා මතකයි.. මට කියන්න අමතක වුනා.. මේ හැමදේම සිද්ද වුනේ පුංචි කාමරයක් ඇතුලේ.. රළු ජනෙල් රෙදි වලින්  එලිය ඇබින්දක්වත් කාන්දු වෙන්නේ නැති, "ගිඩි ගිඩි" ගාලා ගැහි ගැහී කැරකෙන සිවිලිම් පංකාවක් තියෙන පොඩි කාමරයක් ඒක.. දවල් දොළහා වුනත් ඒ කාමරේ දොර වැහුවාම හැන්දෑ හය වගේ කෙඩෑරි එලියක් විතරයි ඉතිරි වෙන්නේ.. ඒ මද එළියේ දිලිසෙන එකම දේ වුනේ සුදීෂගේ ඇස්..


ශීත කාලේ ඉවර වෙනව එක්කම ශීත කබා ගලවලා වීසි කරන පුංචි කෙල්ලක් වගේ, ආදරේ ගැන තිබ්බ නරක මතක ඔක්කෝම බිමට අතෑරලා, වසන්තය තියෙන දිහාවට මම පිස්සුවෙන් වගේ දුවමින් හිටියා.. සුදීෂගේ ආදර වෙරළේ රැල්ල පාගමින්, හිනහෙමින්  හිටිය මට,   තව මුහුද දිහාවට ඇවිදන් ගියොත් ගිලිලා මැරෙයි කියන එක ගැන හාංකවිස්සියක් තිබුණේ නෑ.. "මෙච්චර ආදරේයි ලැබෙනවා නම් මැරිලා ගියත් මොකද" මම හිතුවේ එහෙම..


දවස් පුදුම වේගයෙන් ගෙවිලා ගියා.. සුදීෂ නිතර මූණ එල්ලන් ඉන්න පටන් අරගත්තා.. "ඔයා ඇයි මම ඔයාට ආදරේ තරමට, මට ආදරේ නැත්තේ?"


වලාකුළු උඩ හිටිය මම, එක පාරට බිමට කඩාගෙන වැටුනේ ඒ වෙලාවේ..මගේ ආදරේ ඉතිරි ඉතිරි පිටාර යන හදවත දිහා බලාගෙන මම සුදීෂ දිහා බලන් හිටියේ , මීට වඩා මම මොනවද කරන්න ඔනි කියලා හිතා ගන්න බැරිව..


සුදීෂ දවසක් කාටත් හොරෙන් මගේ ෆෝන් එක අරගෙන යාලුවන්ගෙයි මගෙයි කතා බහ කියවන්න පටන් අරන් තිබුනා.. "ඇයි ඔයා එහෙම කරන්නේ" ඇහුවාම කිව්වේ "ඔයාට මට හංගන්න දෙයක් නෑ නම් මම බැලුවාම මොකද" කියන උත්තරය.. මම හිනා වුනා.. මුල් දවසේ දුන්න පොරොන්දුව රැකගන්න ගොඩක් දේවල් ඉවසන්න වෙනවා කියලා මම දැනන් හිටියා..


දවසින් දවස සුදීෂ මගේ කියලා තිබ්බ හැමදෙයකම ඉඩක් හොයන්න ගත්තා.. "ඔයාට කියලා විතරක් දේවල් ඔනි නෑ.. මම හැමදේම දැන ගන්න ඔනි" කියලා හැමදෙයක්ම වගේ ඉව කරන්න පටන් ගත්තා.. මම මටම කියලා ගොඩ නගාගත්ත මගේ "සුවදායි සීමාව" ඇතුළටත් ආපු සුදීෂ, ඒ පුංචි සීමාව ඇතුළෙවත් මට "මම" වෙන්න තිබ්බ ඉඩ ඇහිරුවා.. මේ හැමදේම මැද්දෙන් ආදරේ තවමත් ගලාගෙන යමින්..


"ඔයා ඇයි මේ යාලුවෝ එක්ක මෙච්චර කතා කරන්නේ.. ඔයාට ඒ වෙලාවේ මට කතා කරන්න පුළුවන් නෙහ්.. යාලුවන්ට කතා කරන්න ඔනි නෑ" කියලා සුදීෂ කියනකොට, මට තරහ වගේම දුක හිතෙන්න පටන් අරන් තිබුණේ.. ආදරේ දෙගොඩ තලා ගිහින් මට මගේ හිතේ නිදහස කියන පුංචි තැනිතලාවත් අහිමි වෙලා නේද කියලා හිතෙන්න පටන් ගත්තා..


කොයි පැත්ත බැලුවත් හිටියේ සුදීෂ.. සමහර දවස් වලට රෑ දොළහට වැඩ ඇරිලා ඇවිත් හොදට නිදන් ඉන්න මාව ඇහැරවලා, එයාගේ ආදරේ මගේ ඔඩොක්කුවෙන් අතෑරලා හිනා වෙනවා.. මට නිදාගන්න වුවමනා වුනත්, අමාරුවෙන් ඇහැරන් ඉන්න හදනවා.. 


"තමුසේ මට හොරෙන් මිනිස්සුත් එක්ක එහෙමෙහෙ යනවා " නේද කියලා බැන අඬගහන දවස් එන්න එන්නම වැඩි වෙන්න ගත්තා.. මම දරාගන්න බැරි දවස් වල අඬාවැටෙනකොට එයා "තමුසේ කොච්චර කිව්වත් මට විස්වාස නෑ " කියලා යන්න යනවා..


ආදරේ තාමත් එයාගේ ඇස් වල ඉතිරි වෙලා තියෙනවා මට පෙනුනා.. ඉවසන් ඉන්න පුළුවන් කියලා මම මටම කියා ගත්තා..


"විස්වාසේ නැතිවත් ආදරේයි තියේවි ද" මම ඉවසගන්න බැරි තැනකදි සුදීෂගෙන් අහනවා.. එතකොට "විස්වාස නැති වුනාට ආදරේයි.. ඒකයි මම ඉන්නේ" කියනකොට, හීනෙන්වත් නොකරපු වැරදි කියකියා සූරන පපුව, හෙමින් අතගාගන්නවා.. තව ටිකක් ඉවසනවා කියලා හිතනවා..


ඉවරයක් නැති සැකයෙන් මාව වැස්සට  කඩදහියක් වගේ පෙඟිලා ගිහින් තිබුණා.. මට මාවම නැති වෙලා ගිහින් වගේ දැනුනා.. ආදරේ ඉස්මොල්ලේ යමින්, කහිමින් මම ඉවසන් හිටියා..


"මට උඹව අප්පිරියයි" කියලා සුදීෂ  කියපු දවසේ තීරණය කළා ඉවසීම නතර කරන්න.. සුදීෂ ඇඬුවා.. මාත් ඇඬුවා.. සුදීෂ කිව්වේ මම එයාට අසාධාරණයක් කලා කියලා .."කෝ ඔයා  හැමදාම ඉන්නවා කියලා දුන්න පොරොන්දුව" කියලා අහනකොට, මම වීදුරු කටු වලට සීරුණ හිනාව එයාට පෙන්නුවා.. 


සුදීෂ සාප කලා එයා මං වෙනුවෙන් කැප වුනා ඒත් මම ගුණමකු වුනා කියලා.. මට හිතෙනවා මම බාගදා වැරදි ද කියල...  තවත් සුදීෂගේ ආදරෙන් පෙඟිච්ච් අත්තටු එක්ක මට පියාඹන්න අමාරු විත්තිය මම දැනගෙන හිටියා..


*********


දැන් එළියේ හොදටම වහිනවා.. උණු කෝපි කෝප්පයක් ඇතුලේ මම ගිලිලා පොතක් කියවන ගමන්.. එදා සුදීෂ ප්ලේ කරපු සශිකාගේ සිංදුව මට ඈතින් ඇහෙනවා.. ආදරේ කියන එක කොච්චර සංකීර්ණ ද.. 


මම මට මුලින්ම ආදරේ කරන එක ඒ තරම් ලොකු වැරැද්දක් ද?




Comments

Popular Posts