කසාදය

 අවුරුදු  දෙකක් තිස්සේ , 'ගෙදර' කියලා කියලා හිතන් හිටිය තැන අතෑරලා ඇවිත් අදට දවස් දෙකක්.. කළඹලයෙන් බෑග් එකට දා ගත්ත ඇඳුම් අස්සේ, වැරදිලා සුපුන්ගේ කමිසයක් ඇවිත් තිබුණා..මම ආසම ඕගන්දි ගවුම මඟහැරිලා මේ වැඩකට නැති කමිසයක් අරන් ආව එක ගැන මට මතක් වෙනකොටත් තරහයි..


කුලියට අරන් ආපු ෆ්ලැට් එක, තවම ගෙදර කියලා මට හිතෙන්නෙ නෑ නේද කියලා ඔළුවට කල්පනා වෙනවා.. තුන්වෙනි තට්ටුවට ඇඳක් උස්සගෙන එන්න බැරි තරම්  මහන්සි නිසා තවම මෙට්ටේ තියෙන්නෙ බිම..එක අතකින් එහෙම තියෙන එකත් ලේසියි නේද කියලා කල්පනා වෙනවා..කලින් මේ ෆ්ලැට් එකේ පදිංචි වෙලා හිටිය කට්ටිය,ගෑස් ලිප දාලා ගිහින් තිබුණ නිසා උයා පිහා ගන්න එව්වාට කරදරයක් නෑ.. බැල්කෙනියට ගිහින් පහළ බැලුවාම පේන ගිනිපෙට්ටි වගේ ගෙවල් ඇතුළේ,එක පොදියට පොඩි එවුන්, මහ මිනිස්සු ගෑනු කිටිකිටියේ ජීවිත ගෙවා ගන්න   දඟලන හැටි පේනවා.. ඈත බැලුවාම පේන්නෙ මහ මුහුද.. ඈතින් පාවෙලා කොළඹ වරායට ( මම හිතන විදිහට) යන නැවක් පේනවා.. ඉර මහ මුහුදේ දිය වෙලා ගිහින්.. ඉතිරි වෙච්ච රාස්සිගේ අව් රස්නේ ජනේල වීදුරු වලින් සෝපාව උඩ තෙත් කරනවා..


උයන්න කම්මැලි නිසා ඌබර් දාලා මොනවා හරි කන්න ගෙන්න ගන්න ඔනි කියලා හිතුන නිසා, ෆෝන් එක අතට ගත්තාම තමා දැක්කේ යශෝ ගේ මැසේජ්..

"මම දන්නවා උඹට මට සමාව දෙන්න බැරි විත්තිය..  ඒත් ඒක මම හිතාමතා කරපු වැරැද්දක් නෙමෙයි"


මැසේජ් එක දිහා බලන් ඉන්නකොට, ආයිත් පපුව මැද්දේ නිවිලා තිබ්බ ගිනි ගොඩේ ගිනි පුපුරු ඇවිස්සෙනවා දැනුණා.. ගිනි රස්නෙට හිත උතුරලා ඇස් වලින් ගලන්න පටන් ගත්තත්, කම්මුල් දිගේ ඔහේ දිය ඇල්ලක් වගේ කඩා වැටෙන්න ගත්තත්, දැන් මට ගාණක් නැහැ.. කාට පේන්න ද..කවුරු සනසන්න ද..


යශෝව මම දන්නේ පොඩි කාලේ ඉදන්.. අපි ඉස්කොලේ ගියේ එකට.. කැම්පස් ගියේ එකට.. හොදම යාලුවා පට්ටම "උඹ මගේ හොදම යාලුවා" කියලා කටින් නොකිව්වාට, නිතරඟයෙන්ම ඒ තැන අයිති වුනේ යශෝට..  යශෝයි මායි කැම්පස් යන කාලේ තමා සුපුන් හම්බුනේ.. සුපුන් මගෙන් කැමැත්ත ඇහුවේ සෙකන්ඩ් ඉයර් එකේ එක්සෑම් ඉවර වෙලා අපි ගෝල්ෆේස් ගියපු දවසක.. ඒ වෙලාවේ සද්ද නැතිව ගෙදර ඇවිත්, යශෝ එක්කත් කතා කරලා, මටත් හොදයි කියලා හිතුන නිසා මම එදා කැමති වුනා.. ඒ දවස් කොච්චර හොදයි ද.. විභාග බර ඇරුණාම ජීවන බරක් තිබුනේ නැති කාලේ..


කේතලේ කෑ ගහන සද්දෙට මනෝ ලෝකෙන්  එළියට විසි වුනා... තව චුට්ටකින් වහින නිසා, කෝපි එකක් හදාගන්න හිතුවත්,රෑට නින්ද නොගියොත් කියලා මට බයයි.. හැමදෙම අමතක කරලා ඉන්න පුළුවන් පුංචි පැය හය නැත්නම් හත,කෝපි එකකින් විනාස කරගන්න මට ඔනි නැහැ... ඒ නිසා කහට වැඩි උණු තේ එකක් හදා ගත්තා.. 


සුපුන්ව කසාද බඳින එකට ගෙදර අයගේ අකමැත්තක් තිබුනේ නැහැ.. මම බඳින්නේ මම ආදරේ මිනිහාව නේද කියන එක මගේ හිතේ, ඉහේ, වගේම මුළු ඇඟ පුරාම දාස් පෙතියා පීදෙන්න තරම් සතුටක් වුනා මතකයි... ඇත්තටම ආපස්සට හැරිලා බලනකොට අපි සතුටින් හිටියා නේද කියලා හිතෙනවා.. 


මම ජොබ් එකට ගිහින් ගෙදර එනකොට ගොඩක් වෙලාවට සුපුන් රෑට උයන්න පටන් අරන්.. මට ඇවිත් ලුණු මිරිස් ටික අත ගාලා මාළු පිනි ටික ලිපේ තියන්න විතරයි තිබ්බේ.. මට ස්ට්‍රෙස් දවස් වලට පැනිරස කෑම අරන් එනවා.. විසාල වලහෙක්, පුංචි වලස් පැටියෙක් තුරුල් කරන් ඉන්නවා වගේ නිදාගන්නවා... ආරක්ෂාව, සැනසීම, ආදරේ හැමදේම පිරිලා ඉතිරිලා නේද කියලා මම හැම තිස්සේම හිතුවා...


යශෝගේ රස්සාව නැති වුනේ මේ දවස් වල.. මම පැය ගණන් කෝල් කරලා දුක අහන් ඉන්නවා.. මේක බලන් ඉන්නම බැරිව තමා සුපුන් එයාලගේ ඔෆිස් එකේ වේකන්සි එහෙකට යශෝව දාගත්තේ.. යශෝ රස්සාවට ගියපු පළවෙනි දවසේ මම සුපුන්ට කිව්වා එයාවත් එක්කන් අපේ ගෙදර එන්න කියලා.. යශෝයි මායි සුපුනුයි එදා රෑ වෙනකන් හිනා වෙවී කෑම ගත්තා.. යශෝව ගෙදර ඇරලවන්න ගියේ මම..


යශෝ, සුපුන් ඔෆිස් එකේ කරන කියන එව්වා ගැන, විහිළු කතා ඇවිත් මට කියනවා.. යශෝ හැම සෙනසුරාදාම අපේ ගෙදර ආවා.. හොදම යාලුවා එක්ක සති අන්තේ ඉන්න ලැබෙන එක කොච්චර දෙයක් ද.. මට හිතුනේ එහෙම.. මාස ගෙවුනා.. අවුරුදු ගෙවුනා..


දවසක් යශෝ මට කෝල් කලේ හීනි ඉකියක් එක්ක.. 

"මොකෝ බන් මේ අඬන්න වගේ"

මම හිතුවේ කරදයක් වෙලා කියලා..

"මම උඹට ද්‍රෝහි වුනා කෙල්ලේ.." 


යශෝ අඬන්න පටන් ගත්තා.. ෆොන් එකෙන් එහා පැත්තේ ඉකිය අස්සෙන් ඇහෙන වචන එක්ක, කකුළ් දෙකේ ඉදන් හිස් මුදුන වෙනකන් ගිනි ගන්නවා වගේ දැනුණා.. මම හිටියේ ඔෆිස් එකේ.. මට මතක නෑ මම ඇඬුවා ද කියලවත්... යශෝ එක දිගට සමාව ඉල්ලනවා..


"ඇයි මට කියන්න ඔනි කියලා උඹට හිතුනේ මේක?"


මම ඇහුවේ එච්චරයි.


"උඹ මගේ හොදම යාලුවා..."කියලා මොකක්දෝ දිග හෑල්ලක් කියවගෙන ගියා..


එක පාරට මුළු ලොකෙම කැරකෙන එක නැවතිලා,එක මොහොතක ගල් වෙලා වගේ දැනුනා..


මට ඔනි වුන සුපුන්ගේ පැත්තෙන් කතාව අහන්න.. සුපුන්ට ඒ වෙලේම කෝල් එකක් අරන් පුළුවන් තරම් නිවිලා ඇහුවා..


"මේ යශෝ කියන කතාව ඇත්ත ද?"


සුපුන්ගේ ඇහුනේ හුස්ම ගන්න සද්දේ විතරයි..


"ඒක එක පාරටම වුන දෙයක්.. මට මාවම පාලනය නැති වුනා.. අනික ඔයා දන්නවා නෙහ් එක අතකින් අත්පුඩි ගහන්න බැහැ කියලා"


මම හාෆ් ඩේ එකක් දාල ගෙදර යන්න හදනකොට, ඔෆිස් එකේ කෙනෙක් ඇවිත් ඇයි මේ හදිස්සියේ ගෙදර යන්නෙ ඇහුවා.. ඇස් ඉදිමිලා, තෝන්තුවෙන් ඉන්න එකට වැඩ කරන ගෑනිගෙන් එහෙම අහන එක ඉතින් පුදුම වෙන්න දෙයක් ද.. ඔළුව රිදෙනවා අනේ කියලා ඇස් පොඩි කරලා හිනා වෙලා ගෙදර යනකොටත් සුපුන් ගෙදර ඇවිත්..


සුපුන් මම ගෙදරට ආපු ගමන් සමාව ඉල්ලන්න ගත්තා.. මගේ ශබ්ද කෝෂය වේලිලා ගිහින් තිබුණේ.. මම දැනන් හිටිය එකම දේ අඬන එක විතරයි.. නාට්ටි වල මිනිහා ගෑනිව රවට්ටලා වෙන ගෑනියෙක් එක්ක යන කොටස් පෙන්නනකොට "මට නම් අහුවුනොත් ඔහොම මම දෙන්නවම පතුරු ගහනවා" කියලා පණ්ඩිත කතා කියපු මම නේද මේ කරකියා ගන්න දෙයක් නැතිව අසරණ වෙලා අඬා වැටෙන්නේ කියලා මට මතක් වුනා.. මගේ හොදම යාලුවා මට ද්‍රෝහි වෙච්ච දුක ද, ආදරේ කරපු මනුස්සයා ද්‍රෝහි වෙච්ච දුකද ගොඩක් වැඩි කියලා මට හිතා ගන්න බැරි වුනා.. මම දැනන් හිටිය එකම දේ, ඒ වෙලාවේ මගේ  හිත රසදිය ඔඩමක් වගේ බර විත්තිය විතරයි..


මම ඔහේ සෝපාවේ දිගා වෙලා ඇඬුවා.. සුපුන් එක එක කතා කියනවා..තනි අතින් අත්පුඩි ගහන්න බැහැ කියනවා.. ආයිත් සමාව ඉල්ලනවා.. මම දැනගෙන හිටියේ නැහැ කියන්න ඔනි දේවල් ගැන.. මේ වගෙ වෙලාවකට රණ්ඩු කරගන්නවත් හිතට පණ නැති වෙලා යනවා.. ලෝකෙම එක පාර අළු පාට වෙලා යනවා..


බොහෝම අමාරුවෙන් උඩ තට්ටුවට ගිහින් අතට අහුවෙන ඇඳුම් බෑග් එහෙකට අඩුක් කරගෙන ත්‍රීවිල් එහෙකින් අම්මලාගේ ගෙදර ගියා.. මම දුවගෙන ගිහින් අම්මා බදන් අඬනකොට තාත්තා ඇවිත් "මේ මොකෝ" කියලා ඇහුවා මතකයි.. පස්සේ මගෙන් එයාලා විස්තර අහනකොට මම කිව්වේ මට ගෙදර මතක් වෙලා ආවා කියලා.. ඒ බොරුව එච්චර හයිය නැතත් අම්මායි තාත්තායි පිළි ගත්තා..


මට යශෝ එක්ක තරහ වෙන්න බැරි ගතියක් දැනුනා.. ඒත් මට යශෝට සමාව දෙන්න පුළුවන් තත්ත්වයකට මේ ජීවිත කාලේ ඒවි කියලා මම හිතන්නෙ නෑ.. අම්මලා එක්ක සතියක් ඉදලා තමා මේ තැන මම හොයන් ආවේ..තාම අම්මලා දන්නෙ නෑ සුපුන් ව මම සදහටම අතෑරලා ආවා විත්තිය..


සුපුන් මට කතා කරන්න හැදුවත්, මට හිත් කෝටියක් තිබුණේ නෑ කැඩෙන කැඩෙන පාරට මාරු කරන්න.. තිබ්බ එකම හිතෙන් ආදරේ කරලා කැඩිලා බිඳිලා ගියාට පස්සේ, සමාවට හේතු නිකන් සෙලෝටේප් වගේ.. ඇලවිලා තෙමුනම ගැලවෙනවා.. මම ලෝයර් කෙනෙක් හොයා ගන්න ඔනි.. මම දන්නෙ නෑ මම කරන්නේ හරි දේ ද කියලා.. ඒත් මට මගේ හොදම යාලුවා එක්ක මගේ මහත්තයා බුදිය ගත්තා කියන එක අමතක කරලා සමාව දෙන්න අමාරුයි..


ඔක්කොටම කලින් මේ බිත්ති පාට කරන්න ඔනි...මොන පාටින් පාට කරන්න ද හිතා ගන්න බෑ.. ෆ්ලැට් එක දිහා බලන් මට දැන් කල්පනා කරන්න තව දේවල් තියේ නේද.. අර මුල්ලට තියන්න මල් පෝච්චියකක් ගන්නත් ඔනි..







Comments