කුල

 ආදර සදෙව්,


අකුරු ලිවීම අමතක වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, ඔයාට ලියමනක් ලියන්න ලැබුණ එක ගැන සතුටුයි..මේ ලියමන ලියන්න කලින් උදෙත්,  මූණට මූණ හම්බුන ඔයාට මේම ලියන්න හිතුනේ, සමහර වෙලාවට මූණට මූණ බලාගෙන මේ දේවල් කියන කොට, හිත අස්සේ කොණක හරි කහටක් මම නොදැනුවත්වම ඉතිරි වෙලා තිබ්බොතින්, මම කියන දේවල් වලට වඩා, තරහ, කණගාටුව ඔයාගේ ඔළුව ඇතුලේ   මළකඩ වගේ බැඳෙන්න පුළුවන් කියලා හිතුන නිසා..මේ මොහොත වෙනකොට හිතේ පුංචිම දුකක් වත් , තරහක්වත් නැති නිසා, ඔයාට මේ ලිපිය, මගේ "සෝ ස්වීට්" කටහඬෙන් කියවගන්න පුළුවන් වෙයි..


ඔයා මගේ පොඩි කාලේ ගැන උනන්දුවක් නෑ කියලා මම දන්නවා..ඒත් මට ඔයාට ඒ ගැන බලෙන්, ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න උවමනායි..එතකොට මට අවුරුදු දොළහයි...අපේ ගමේ පන්සල තිබ්බේ ලස්සන වෙල්යායක් මැද්දේ..ඔව් ඔව්.. ඔයාට දැන් හිතට මැවුණ ජාතියේම පන්සලක් ඒක..අර හතාමාරට යන කතාවේ පේන පන්සල වගේමයි..


ඉරිදා උදේ පාන්දර නැගිටින ළමයි, ගෑනු පිරිමි භේදයක් නැතිව, අරලිය ගස් බඩගානවා මල් කඩන්න.. අපි ඇත්තටම මල් කැඩුවේ ලොකුම මල් වට්ටියට දෙන ලකුණු ගන්නයි , වැඩිම ලකුණු ගන්න කෙනාට හම්බෙන චොකලට් එකට තියෙන පෙරේතකම නිසයි..දහම් පාසලේ ළමයි හැමෝම හිටියේ එක පවුලක් වගේ..මේ කාලේදි තමයි වෙසක් නාට්ටි ඌෂ්ණය ගමට ආවේ.. වෙසක් පෝයට දහම් පාසලේ ළමයි එකතු වෙලා පෙන්වන වෙසක් නාට්ටියට ප්‍රධාන චරිත තෝරන්න නියම වෙලා තිබ්බේ අපේ පංතියෙන්.. මට හොදට මතකයි ඒ දවස.. ලොකු සර්  ඇවිත් පංතියට, "කුසපබා" නාට්ටිය තමා මේ අවුරුද්දේ කරන්න ඉන්නේ , ඒකට 'කුස' ගේ චරිතෙට කොල්ලෙකුයි, පබාගේ චරිතෙට කෙල්ලෙකුයි තෝරගන්න ඔනිය කියලා වේවැල කරකර කියාගෙන ගියා...ඉතින් ඒකට, ලොකු සර්,අපි හැමෝවම පෝළිමට හිටවලා එක එක්කෙනාට කිව්වා  වෙන වෙනම පොඩි නාට්ටි කොටසක් රඟපාල පෙන්නන කියලා...


මම රඟපාල පෙන්නුවේ ගෙවිලියකගේ චරිතේ.. දිග පෝළිමම  රඟපාල ඉවර වුනාට පස්සේ දැනුම් දුන්නා මාව පබාවතිට තෝරගෙන කියලා..ඒ කාලේදි ජීවිතේ ලොකු පුදුම හිතෙන දේවල් වෙනවා අඩුයි.. ඉතින් මේ වගේ දෙයක් සිද්ද වෙනවා කියන්නේ පපුව කඩාගෙන යන්න තරම් සතුටක්..පබාවතීට  දිග කොණ්ඩයක් ඔනිය කියලා අම්මා රෑට රෑට තැඹිලි තෙල් අහුරක් දාලා කොණ්ඩේ පීරන්න පටන් ගත්තා.. මම හිටියේ පාවි පාවි.. 


අපි නාට්ටි පුරුදු වෙන්න ගිය පළවෙනි දවසේ, දායක සභාවත් ඇවිත් හිටියා..හැමෝම මං දිහා රවාගෙන හිටියේ ඇයි කියලා මම දන්නේ නෑ අදටත්.. එතන හිටිය වයසක මනුස්සයෙක් මම පබාවතීට රඟපානවාට අකමැති විත්තියත්, ඒම රඟපාන්න ගත්ත එක වැරදි විත්තියත් එක දිගටම මහ සද්දෙට කියන්න පටන් ගත්තා.. මම හිටියේ බය වෙලා සදෙව්..මම හිතෙන් ඇස් දෙකේ කඳුළු බිමට නොවැටෙන්න අල්ලගෙන හිටියේ..


"මේ කෙල්ලට කොහොමද හාමුදුරුවනේ පබාවති දේවි රඟපාන්න දෙන්නේ.. දන්නේ නෑද මේකිගේ අප්පාගේ කුලගොත් විස්තර..බුදුන් ලඟින් හිටිය ස්තිරි පරාණයකට රඟපාන්න දෙන්න පුළුවන් ද මේ කෙල්ලට."


ඒ වයසක මනුස්සයා එක දිගට කියවගෙන ගියා.. මම බලන් හිටියේ කවුරු හරි නැගිටලා මං වෙනුවෙන් කතා කරාවි කියලා.. ඒත් දායක සභාවම සද්දයක් නැතිව බලන් හිටියා විතරයි... මම චරිතෙට තේරුනා මිස, මම චරිතය ඉල්ල ගත්තේ නෑ කියන්න මට ඔනි වුනා.. ඒත් මම ඇඬෙයි කියලා බයට බිම බලාගෙන සද්ද නැතිව හිටියා..


අම්මාට මේ විස්තරේ කිව්වාම, අම්මා කිව්වෙත් ඒ තීරණේ සාධාරණයි කියල එක අතකින්..මං වෙනුවෙන් ගෙදර මිනිස්සු වුනත් කතා නොකරන කොට නම් මට කඳුළු හිරකරගෙන ඉන්න බැරි වුනා..මම නොසෑහෙන්න ඇඬුවා.. අවුරුදු විස්සකට පස්සෙත් ඒ ගැන මතක් කරලා ආයිත් අඬන්න මට පුළුවන්..කුලය කියන දේ මගේ මූණේවත් ඇඟේවත් තියෙන උපන් ලපයක් නෙමෙයි..කුලේ කියන දේ අපි බලහත්කාරෙන් පවරගන්න දෙයකුත් නෙමෙයි..මම දැනගෙන හිටියේ අඬන්න විතරයි ...


මේ වෙනකන් කියවගෙන ආවා නම්, ඔයාට තේරෙන්න පටන් අරගෙන ඇති, මම මේ වටෙන් ගොඩෙන් එන්න හදන්නේ කොතැනට ද කියලා.. 


මම ඔයාට තව කතාවක් කියන්නම්..


සුදේශ්ව හම්බුනේ මට කැම්පස් එකේදි.. සුදේශ් කියන්නේ මම වගේම ආර්ථික අපහසුකම් ගොඩක් මැද්දේ කැම්පස් ආපු කොල්ලෙක්...අපි පාඩම් කලේ එකට, කෑම කෑවේ එකට..පළවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙන දවසෙදි සුදේශ් මට ආදරෙයි කිව්වා.. අකමැති වෙන්න හේතුවක් නොතිබුණ නිසාත් , ඇත්තටම සුදේශ් හොඳ කොල්ලෙක් වගේ දැනුන නිසාත් මම දෙපාරක් නොහිත යාලු වුනා..ඒත් ඒක වැඩි කාලයක් තිබුණේ නැහැ...


පළවෙනි සෙමෙස්ටරේ අන්තිම විභාගේ ලියන්න ඇඩ්මිශන් එක අරගෙන එන්න කියලා මම දවසක් සුදේශ් ට අයි.ඩී. එක දුන්නා.. සුදේශ් මගේ අයි.ඩී. එක දිහා ටික වෙලාවක් බලන් ඉදලා, "මේක ද ඔයාගේ වාසගම" කියලා මූණ දෙක කරගෙන බලන් හිටිය හැටි මට තාම මතකයි.. ඊට දවස් දෙක තුනකට පස්සේ , මේ සම්බන්ධයට ගෙදර අය කවදාවත් කැමති වෙන එකක් නැතය , දුර දිග යන්න කලින් නවත්තමු ය කියලා යන්න ගියා.. මම දැනගෙන හිටියේ නෑ කියන්න ඔනි මොනවද කියලා..මම එදා නම් ඇඬුවේ නෑ.. ඒත් මට දුක හිතුනා.. දුක කාලයක් එක්ක මැකිලා යනවා..කැම්පස් එකෙන් අවුට් වෙලා යනකන්ම එයා මාත් එක්ක කතා කලේ නෑ...සුදේශ් දැන් දෙපාරක් ඩිවෝස් වෙලා විත්තිය කිව්වේ මගේ පරණ යාලුවෙක්.. මම දන්නේ නෑ ඇයි කියන එක නම්..


මම හොඳට ඉගෙන ගත්තා.. ස්පෙශල් එකක් කරන්න තේරුණා.. ක්ලාස් එකක් ගත්තා.. ඒත් මට අහක් කරන්න  බැරි අඳුරු හෙවනැල්ලක් වගේ මගේ වාසගම පස්සෙන් එන එක හිසරදයක් වුනා..


කසාදයක් කරගන්න හදනකොට තරම් කුලය හොයන් වෙන ජීවිතේ අවස්ථාවක් මට හිතා ගන්න බෑ...අම්මාට ඔනි වුනේ මාව දොස්තර කෙනෙක්ට බන්දල දෙන්න..දොස්තර පුත්තු පෝළිමට  බඳින්න කැමැති වුනත්, දොස්තර පුතාලගේ සනුහරේ වාසගම් ප්‍රශ්නේ නොසළකා අතාරින්න හිත දුන්නෙ නෑ..


මට කසාද බඳින එක තිත්ත වෙලා ඉන්න කාලේ තමයි ක්‍රිස්ව හම්බුනේ..සදෙව් ක්‍රිස් අන්තිමට කසාඳ බැන්දේ මාව.. මගේ වාසගමවත්, කුලේවත් නෙමෙයි, මේ මාව.. 


මේ රස්සාවට ඇවිල්ලා මම දැන් අවුරුදු තුනක් වෙනවා සදෙව්...ඔයා මම නැති වෙලාවට කියන  සමහර විහිළු, මගේ මේසේ ලඟට ඔයාට හිතන්නත් බැරි වේගෙන් පාවෙලා එනවා...ඒ විහිළු මගේ වාසගම එක්ක පැටලෙන විත්තියත් මම දන්නවා..ඔයාගේ මී මුත්තාගේ ගෙදර මගේ මී මුත්තා වළං සේදුවාට, මේ වෙනකොට ඔයා මගේ යටතේ වැඩ කරන සේවකයෙක් විත්තියත් මතක් කරන්න මම කැමති.. ඔයා දැකලවත් නැති මී මුත්තෙක්ගේ ඌෂ්ණය එක්ක බහුජාතික සමාගමක වැඩ කරන එක අමාරු ඇති කියලා මට වෙලාවකට හිතෙනවා..ඔයා ගැන දුකක් හිතෙන්න ගන්නවා..


මම ජීවිතේ අන්තෙටම වැටිච්ච වෙලාවලට අපේ අම්මා, අපේ සීයලා ආච්චිලා සමහර ප්‍රශ්න වලට මූණ දුන්න හැටි ගැන කියලා දෙනවා...ජීවිතේ කටුක විත්තියත්, දරාගෙන ඉස්සරහට යන්න උවමනා විත්තියත්, ලේ උරුමයෙන්ම  මට ලැබිලා තියෙනවා කියලා දැනෙනවා.. වාසගම වෙනස් කරගන්නම ගිහින් ඒ අදහස අතහැරියේ, අද මේ ඉන්න මම කියන පුද්ගලයාව වාසගම වගේ දෙයකින් මනින්න බැරි තරම් විසල් නේද කියලා හිතුන නිසයි... මම කියන කෙනාගෙ වටිනාකම අකුරු දෙක තුනකට ලඝු කරන්න පුළුවන් ද..


පුංචි කාලේ ඉදන් වෛර කරපු ඒ වාසගමට ආදරේ කරන්න මම ඉගෙන ගනිමින් ඉන්නවා..


සදෙව් මම හෙට අයර්ලන්තයට යනවා.. මම දන්නේ නෑ හෙටින් පස්සේ ජීවිතේ කොහොම වෙයිද කියලා.. මම කැමති ඔයා ඔයාගේ ඇස් වල බැඳිලා තියෙන දශක ගාණක දුවිලි තට්ටුව පිහදා ගන්නවා නම්.. මොකද මේ වෙනකොට වාසගමකට, කුලයකට කරන්න පුළුවන් දේවල් සීමිතයි...ඔයා හිර වෙලා ඉන්න පුංචි ලෝකෙන් පොඩ්ඩක් එළියට ආවොතින් බාගදා ඔයාටත්, වාසගමෙන් එහා ලෝකයක් දකින්න පුළුවන් වෙයි..


මාෂා..


පසුව ලියමි-


හොදම යාලුවෙක් ලියන්න කියලා කරපු ඉල්ලීමකට ලියවුන දෙයක් මේක.. ගොඩක් කාලෙකින් ලියපු නැති නිසා මේක කෝලමක් වගේ පේනවා නම් සමාවෙන්න කියලා ඉල්ලනවා..






Comments

  1. මේක මාර ලිපියක්. මම ෆේස්බුක් එකේ කියෙව්වා. දැන් නම් ලංකාවේ මේ වගේ දේවල් වෙන්නේ නැතිව ඇති .

    ReplyDelete

Post a Comment