ඔබට...

බොහෝමයක් අකුරු මතකයෙන් ගිලිහී බිඳී ගොසින්  ය.. සඳ, එකුන් සත්වෙනි වක පුරවමින්, මන්දාලෝකයෙන් යුත් තාරකා කිහිපයක් අසාධාරණ ලෙස සඟවමින් ය.. රාත්‍රියේ අයිතිය කළුවරට ය.. කළුවර තම නෛතික අයිතිය පෙන්වමින් සේල් දැමූ, අහස් කැඹලි තුළ ලැගුම් ගත්, ඉරබටු තරුව සහ තවත් තරු කිහිපයක නිවිනිවී දැල්වෙන ආලෝකය, ජනේලයෙන් හිස හොවාගෙන සිටිනා මට පෙනෙයි.. ග්‍රීස්මය නිවාගෙන හමා එන පින්නට තෙත්වුන සුලඟ, කොහේදෝ දුර ඈත පිපුණ සේපාලිකා මල් රේණු ස්වල්පයක් ජනෙල් පඩිය මත අතහරිමින් ය.. ඈතින් ඇසෙන රැහැයියන්ගේ ප්‍රේම අල්ලාප සල්ලාප ද, මෑතින් ඇසෙන මදුරුවන්ගේ මූසිලමය වීණා  හඬ ද නිහඬ කළුකුහරයක් විය යුතු රාත්‍රිය මත සංගීතමය වර්ණයක් ඉහිරුවමින් ය..


හිත යටින් ඇසෙන "Lover" ගීතයේ වලාකුළුමය ගතිය,මගේ උණුසුම් කෝපි කෝප්පය තුළ දියවෙමින්,ඔබ ගැන ඇති මතක ගබඩාව අවුස්සමින් ය..සෑම දෙයක්ම  අපිළිවෙල මගේ ජීවිතය, ඔබේ මතක පමණක් කිහිපවරක් ස්තිරික්ක කර පිළිවෙලට නවා පසෙක ය.. පසෙකින් වවා ඇති කුඩා රෝස පඳුරේ දම් පාට රෝස මල් සුවඳ මතක ඔස්සේ හමා එන්නාක් මෙන් ය.. අපි එකට සිටි අවුරුදු, අතේ ඇඟිලි වලින් පෙන්වා දීමට බැරි වෙන්නට, මහ විසාල් කාලයක් නැත.. කාලයට ඇති අස්ප කුලප්පුවක මහත!!

ආදරය ලියා පෙන්වීමට මම අපොහොසත් මි.. සාගරය මහ පොළව හමුවන තැනක සිට ඔබ එතැයි බලාසිටින්නට පමණක් මා මේ සය වසර තුළ ඉගෙන ගෙන ඇත්තෙමි.. මේ ගෙවී යන්නේ ඔබේ උරහිස මත හිස හොවාගෙන දකුණු කුරුසයෙන් ඔබේ ආත්මයේ ඉසියුම් තැන් දෙස බලා සිටීම කළ යුතු කාලයයි..

මම ඔබට ප්‍රේම කළෙමි..ප්‍රේම කරමින් සිටිමි..ඉදිරියට ද ප්‍රේම කරන්නට සිතාගෙන සිටිමි..උපන්දින ගැන "මෙලෝගාණක් නැති"  ඔබට වඩා ඔබේ උපන්දිනය ගැන දින ගණින්නේ මම ය.. දවස් ගණනක් තිස්සේ ඔබ සිනහසෙන යුරු ගැන නෙක සිහින මවන්නේ  මම ය..ඉතින් ආදරේ යැයි නැවත නැවත කියමින් මේ ගෙවී යන තප්පර කිහිපය ඔහේ අවුල් වූ කෙස්'තර රඳවමි..

මගේ ප්‍රේම පාසලේ දූශේන්ට, සුභ උපන්දිනක් වේවා!



Comments

Post a Comment

Popular Posts