ආදර කල්පට...

ආදර කල්ප,

ඒ ඔබ එවූ වලාකුළ, මා අසලම ඇති ජනේල වීදුරුව මත්තේ දියව යමිනි... ගස් මුදුන් පිසදමා, මල් කිවිසුම් පිට කළ ,රොන් සුණු අවුස්සාගෙන එන, මේ නිරිත දිග සුලඟ අත, ඔබ එවූ ඒ වලාකුළ, ඔබ එවූ පණිවිඩය අමතකව ජනෙල් වීදුරු මත්තේ හඬහඬා දියව යමින් දැන් දින දෙකක් ගෙවී හමාරය...මේ ලියන ලියමන, කවදාක කා අත  එවනු දැයි මට නිච්චියක් නැත.. බාගදා සන්ධ්‍යා වලාකුළක් මත, බාගදා කුණටු සුසුමක් මත, ඒ ගැන වද වීම ද හිත ලිවීමෙන් ඈතකට රැගෙන යයි...


කල්ප...වන දුර්ග , ගිරි දුර්ග පසුකර, මා හද දුර්ගය තෙක් එන්නෝ අල්පය..හද දුර්ගය තෙක් පැමිණි පසු දුර්ගයන් කෙරෙහි මුසපත්ව, දුර්ගයෙන් පලා යන්නෝද එමටය.. මා හදවත, දුර්ගයක් නිසා දෝ තවමත් සොවෙන් සන්තාපයෙනි..ඔබ බියෙන් ද.. මා හද දුර්ගය ඒ තරම් ශුෂ්කද, කටුක ද කල්ප....ඔබ බියෙන් නම් දුර්ග මාර්ග පසුකර සුවසේ වෙනත් සානුවක් යන්න..හැරයාමේ වියෝග දුක හද දුර්ගයට තවත් කටු රෝස පඳුරක් එක් කරාවී..

කල්ප, මේ ගිම්හාන ග්‍රීස්මයෙන් පෙඟුන කෙටි රාත්‍රියක, මම  ඔබ සිහිනෙන් දකිමි... ඇස්බැස්ටස් තහඩු මත්තේ වැටෙන, නිරිත දිග මෝසමේ අදෝනාව හිස සිට දෙපතුළ තෙක්  පොරාවාගෙන, සඳලුතලයේ කෙළවර සිට ඔබ, ඔබේ උරහිස මත නිදන්නට මට සන් කරන ඒ සිහිනය මම දකිමිනි...ඔබ උස ඔඩමකින්, කවියක්, කුසලානයකට පුරවා මා අතින් තබයි..කල්ප... ඔබ ප්‍රේමය ගැන කියූ විච්චූරණ, කදෝකිමි පස්සා පැත්තක් ගිනි තබා ඇත්තේය..මේ ලිපිය ලියන්නේ ඒ ගිනි ගත් පස්සා පැත්තේ පශ්චාත් තාපයේ එළියෙන්ය..

මම කියවා නිමකර නැති  පොතක පිටුවක්'තර  කඳුළකින් සළකුණු ලා තබමි...එතනින් පසු ඇරඹෙන්නේ දුක හිතෙන මා කැමති පරිච්ඡේදයන් ය, ඔබ කියූ ලෙසටම, ප්‍රේමය ඒ පරිච්ඡේදයන් වල අධි සාන්ද්‍රනයෙන් තැවරී ඇතුවාට සැක සංකා නැත්තේය..ප්‍රේමය, හුදකලාව හා ප්‍රතිලෝමව සමානුපාතික වන නිසාවෙන්, හුදලාවේ ගැඹුරු ආගාදයේ සිට ඔබේ ප්‍රේමයේ ආලෝක වර්ෂ සියගණන් දුර තරු දෙස බලනවා හැර කුමක් නම් කරන්නද..

ආදර කල්ප...තෝන්තුවෙන් ලියන, ඔබේ හෝන්තු කෙල්ලට, ඔබ ඩිංගක්වත් ආදරේ නැතුවාද.. අකුණු ගහන මහ වැස්සේ හිරිකඩින් තෙමුණු කඩදහි වල ඔබ ගැන කවි ලියන උමතු කෙල්ලකට ඔබ ආදරේ නැතුවා ද.. එංග්ලස්ගේ ලෞකිකවාදයේ ප්‍රේම පරිච්ඡේදයන් මඟහැරී ගොසින් ද...මට හොදටෝම පාළුය..දුකය... ඔබට මා ගැන වගක් වත් නැති එක, දුකට හේතුව ය..දුක නැති කිරීමට මාර්ගය පාරමිතා කොතෙක් පිරුවත් ලං නොවෙනා එකක් ය..

කල්ප..ඔබේ සන්තාප විස්සෝප මගේ උරහිසෙන් තබා, මා රැගෙන ආ පෙම් කවිය ඔබ අරගන්න... ඔබ ගැනම හිත මත්තේ ඇවිලෙන, හුදකලා වේදනා කණිසයන් ඉතිරි කර, ඔබට රිසි උයනකට ප්‍රේමයේ බීජයන් ගෙන යන්න..


කල්ප..ආදරේ අතහැරීමෙන් පසුව, සදාතන ස්නේහයේ කල්වාරියක බර පෙනහළු අතරට දැනෙන වග පෙන්වා දෙන්න..




Comments

  1. ලස්සනයි !
    අද තමයි මුලින්ම ගොඩවුනේ.ජයවේවා!

    ReplyDelete
  2. එල අත්බුත කතාත් දාන්ඩො

    ReplyDelete

Post a Comment

Popular Posts