පිරිමි ළමයා( දෙවැනි කොටස)

මනුක...

සුදාර සුදු කපු ඇඳ රෙද්ද අස්සේ ගුලි වෙලා බොහෝම ශාන්ත විදිහට නින්දකට වැටිලා..ටිකකට කලින් කම්මුල් දිගේ බේරිලා ගිය කඳුළු පැල්ලම් හැන්දෑව හතරේ මද රස්නේ ඉර ගින්නට දිලිසෙනවා..මම ජනේලයක් ඇරලා දැම්මා..තට්ටු හයක් උඩ තියෙන මගේ අපාර්ට්මන්ට් එකේ ජනෙල් තියෙන්නේ මුහුද පැත්තට..ජනේලය ඇරපු ඩිංගට කඩාගෙන බිඳගෙන ආපු තෙත, පුළුටු ගඳ  වගේම දාඩිය රස සුළඟ නපුරු සිහින එලවන්න ඇඳට හරියටම ඉහලින් එල්ලපු ඩ්‍රීම් කැචර් එකේ වැදිලා පුංචි ලෝහමය සද්දයක් ඇති කරමින් නැති කරමින් හමාගෙන ගියා..මම හිටියේ මුහුද දිහා බලාගෙන..ඉර එලිය වැටිච්ච සුදු පෙණ අහුරු පෙනුනේ රිදී පාට පුළුන් ගුලි වගේ..මට මතකයි ඉස්කෝලේ යන කාලේ අපි හවසට ක්ලාස් කට් කරලා ගෝල්ෆේස් යනවා..දවස තිස්සෙම දාගෙන හිටපු කළු මේස් වලින් කරවල වෙලා තියෙන කකුල් දුවගෙන දුවගෙන ඇවිත් එක පාරටම අපිව අල්ල ගන්න හදන මුහුදු රැළි ගෝනි බිල්ලන්ට ඇති තරම් ලෙව කාගන්න දීලා බලන් ඉන්නවා...


මට මතකයි සුදාර වගේම ළමයෙක් අපේ පන්ති වලත් හිටියා..පන්තියේ ළමයි එයාගෙන ඈත් වෙලා හිටියේ හරියට බෝ වෙන ලෙඩක් තියෙන ලෙඩෙක් ගානට දාලා...මමත් ඇතුළුව හැම ළමයෙක්ම ඒ ළමයා ලඟින් යන්නේ එක්කෝ පොතකින් ඔලුවට ගහගෙන..නැත්නම් කාලා ඉවර වෙච්ච පාන් කෑල්ලක් කමිසේ අස්සට දාගෙන..මම ඒ ළමයාට අකැමති වගේ පෙන්නුවේ නැත්නම් ළමයි මං ගැන මොනා හිතාවිද වගේ බයක් මට ඉස්කෝලේ යන කාලේ තදින්ම තිබ්බා..ඒ නිසා මමත් මට පුළුවන් උපරිම විදිහකට මගේ අකමැත්ත පෙන්නුවා..ඒත් ඒ නිතරම දිය සීරාව තිබ්බ ලොකු ඇස් මාව විනිවිද ගිහින් මම ඒ ළමයාට කැමතියි කියන එක එයා දැන ගනිවී කියන එක ගැන තිබ්බ බයට මම කලේ ඒ ඇස් මඟහැරලා හිටපු එක..දැන් සුදාරගේ ළා රතු ඇස් දිහා බැලුවමත් මට ඒ ළමයාගේ හෙවනැල්ලක් පේන්න පටන් අරගෙන නිකන්ම ඇස් වලට කඳුළු එන්න පටන් ගන්නවා..


එතකොට මම දහය වසරේ..අලුත් අච්චු පොත් තව දුරටත් අලුත් නොවිච්ච නිසා ගොඩක් අයගේ අච්චු පොත් වල පිට කවර ගැලවිලා අහකට විසි කරලා දාලා තිබ්බේ..අපි හැමදාම වගේ ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරලා ඇවිදින්න යනවා..ඒ වගේ දවසක තමා හීනි කටහඬකින් අඬාගෙන පොඩි මල්ලි කෙනෙක් කවුරු හරි පස්සෙන් මරන්න එනවා වගේ බයකින් ටොයිලට් පැත්තේ ඉදන් දුවනවා දැක්කේ..ඒ මල්ලිගේ කඳුළු කොරිඩෝවේ දිගට මකන්න බැරි ලේ පැල්ලම් වගේ ඉතිරි  වෙලා තිබ්බා..අපි ටොයිලට් එකට යනකොට නම් හිටියේ අයියා කෙනෙක් විතරයි..ඒ මල්ලි මොකක් නිසා අඬාගෙන ගියාද  කියලා මම දැනගෙන හිටියේ නැහැ..


මට මුලින්ම ආදරයක් ඇති වුනේ ගෑනු ළමයෙක්ට..එයා ගියේ මම ගිය  ලංගමෙන් දාපු ඉස්කෝල බස් එකේ..උදේට එයා ගාවින් ආවේ ගාඩ්නියා සුවඳ..මම ෆුට්බෝඩ් එකේ ඉන්නේ එයා බස් එකට නගිනකොට එන  ඒ සුවඳ ඉව කරන්න තියෙන ආසාවට..කොහොම හරි අපි යාලු වෙලා හිටියා මාස හයක් විතර..පස්සේ එයා එලේවල් කරන්න ඉස්කෝලේ මාරු කලාට පස්සේ අපේ සම්බන්ධෙ කැඩිලා ගියා..එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වුනා..මම හිටියේ තනි වෙලා..අනිත් පිරිමි ළමයි ගෑනු ළමයින්ගේ ලස්සන දකිනකොට මම ගෑනු ළමයින්ගේ වගේම පිරිමි ලමයින්ගේත් ලස්සන දකින විත්තිය මට දැනෙන්න පටන් ගෙන තිබ්බා..මම ඇත්තටම බය වුනා.. මම ගෑනු වගේ හැසිරෙන පිරිමි ළමයින්ට ප්‍රසිද්ධියේ අපහස කළා..සමහර වෙලාවට අතට අහුවෙන දෙයකින් ගැහුවා..ඒ වෙලාවට ඒ මිනිස්සුන්ගේ ඇස් වල තියෙන පිච්චෙන අසරණකම එක්ක මම සෙල්ලම් කළා..ඒත් කිසි දෙයක් වෙනස් වෙන පාටක් තිබ්බේ නැහැ..“අඩෝ උඹ සබ්ජෙට්කාරයෙක්ද” කියලා විහිලුවට යාළුවො අහනකොටත් මට කලාන්ත ගතියක් දැනෙන්න පටන් ගත්තා..මට ඕනි වුනේ මගේ ඒ පැත්ත සදාකාලේටම වහලා දාන්න..මම ගෑනු ළමයි ආශ්‍රය කරන්න පටන් ගත්තේ පිස්සුවෙන් වගේ.. “උඹට නම් මොකද..එක සැරේ කෙල්ලෝ තුන හතරක් ගේමක් නැතිව රන් කරන්නේ” කියලා යාළුවො කියනකොට මගේ අනිත් පැත්ත මාව කොනිත්තන්න ගත්තා..මම ඒ ගෑනු ළමයි කාටවත්ම ආදරේ කලේ නැහැ නේද කියලා දැනෙන්න ගත්තේ බෝට්ටුවකින් යාන්තම් කැම්පස් ආවට පස්සේ..


සුදාරව මම මුලින්ම දැක්කේ ඕපන් කැන්ටිමේ  මුල්ලකට වෙලා විසාල පොතක් පෙරලගෙන මූණ කජු ලෙල්ලක් කරගෙන මොනවදෝ කියව කියවා ඉන්න කොට..එයාගේ උරහිස ගාවට දිග බොකටු කොන්ඩේ  කර වෙච්ච පාන් වාටි  කුසුඹ හුළඟට එහාට මෙහාට වෙවී ඔන්චි පදින දිහා මම බලාගෙන හිටියා..කම්මුල් වල තැනින් තැන මතු වෙච්ච රැවුල් කොට අස්සෙන් මාව දැකලා සුදාර හිනා වුනා මට හොඳට මතකයි..මුල් දවසේ එච්චරයි..මටත් සුදාරව අමතක වෙලා ගියා..මාසයකට විතර පස්සේ කැම්පස් එකේ කළා උළෙල බලන්න ගියපු වෙලාවේ තමා සුදාරව මට ආයිමත් දකින්න පුළුවන් වුනේ..එයා දිග සුදු පාට ගවුමක් ඇඳගෙන රඟපෑවේ ජුලියට්ට..එතන හිටියේ පිරිමි ළමයෙක් නෙමෙයි කියලා කවුරුත් ස්ටේජ් එකට නැගලා රෝමියෝට කියන්න ලැස්ති වෙලා හිටියේ නැහැ..නාට්ටිය ඉවර වුනාට පස්සේ හැමෝම පුටුවලින් නැගිටලා අත්පුඩි ගැහුවේ ජුලියට්ට විත්තිය කවුරු නොකියුවත් මම දැනගෙන හිටියා..ජුලියට් ස්ටේජ් එක පිටි පස්සට වෙලා බොරු කොන්ඩේ අතේ තියාගෙනම මාව දැකලා හිනා වුනා..මට රෝමියෝ වෙන්න ඕනි වුනේ එදා..එදායින් පස්සේ අපි නිතරම හම්බුනා..හැමදේම සාමකාමී විදිහට සිද්ද වුනා...මම ගෑනු ළමයින්ගෙන් හෙම්බත් වෙලා හිටිය කාලෙක සුදාර ඇවිත් හිතේ කොනක ඉදන් උදුපියලිය ගොන්නක් වගේ පැතිරෙන්න පටන් ගත්තා..


 සුදාරට තිබ්බේ  හිතාගන්නත් අමාරු තරම් පුදුම ඉවසීමක්..එයා වගේ ළමයින්ගේ මම දැකලා තියෙන ලොකුම දේ පස්ස පද්දන එකවත්, වෙන කුණුහරුපයක්වත් නෙමෙයි..මම දැක්කේ ඉවසීම..කැම්පස් එකේ අනිත් යාලුවෝ ඉස්සරහ මුකුත් නොවුන ගානට ඉඳලා අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට එයා හැසිරුනේ පොඩි එකෙක් වගේ.. “ඔයාට ලජ්ජා හිතේවි මාත් එක්ක එකට ඇවිදිනකොට” කියලා එයා ගොඩක් වෙලාවට මාත් එක්ක එක පෙලට ඇවිදින්න ආවේ නැහැ..ඒත් මම එයාට බැන්නාට පස්සේ ඉඳලා හිටලා ටිකක් ඈතින් ඇවිදගෙන එන්න පොරොන්දු වුනා..සුදාර පොලිස්සියට හරිම බයයි..ඒ නිසා අතින් අල්ලාගෙන ඇවිදින්න යන්න නම් එයා කිසිම වෙලාවක ඉඩක් නම් දුන්නේ නැහැ...එයාට මගේ අතින් අල්ලාගෙන උරහිසට ඔලුව තියාගෙන බලපු පළවෙනිම ෆිල්ම් එක තමා  විසි අට..එයා ගාවින් බේබි සබන් සුවඳක් එනවා කියලා දැනගත්තේ මුලින්ම එදා තමයි..ෆිල්ම් එකේ තිරෙන් පරාවර්තනය වෙලා එන අබින්දන්  එළියෙන් මම එයා දිහා බලාගෙන හිටියා.. (මේ වගේ විස්තර වලින් කිසිම කෙනෙක්ට ප්‍රයෝජනයක් නැති වග ඇත්ත..ඒත් සුදාර ගැන හිතනකොට එයා එක්ක ගෙට ගැහිලා තියෙන මතක, එකට එකක් ගෙට ගහලා තියෙන බෙලෙක්ක පිඟන් වගේ සද්ද කරගෙන හිතට එනවා)

සුදාරට අම්මා කෙනෙක් වෙන්න ඕනි වුනා..එයා මගේ පපුව උඩ ඔලුව තියාගෙන එයාගේ බඩ අතගගා  “මට බබෙක් හදන්න පුළුවන් නම් ඕනිම දෙයක් අතාරින්න ලැස්ති” කියලා කියනකොට මූණේ තිබ්බ ස්ථිරකම මම කලින් දැකලා තිබ්බේ අපේ අම්මාගේ විතරයි..එයාගේ ෆෝන් එකේ ගොඩක්ම තිබ්බේ පොඩි පොඩි බබාලාගේ පින්තූර..බබෙක් අම්මෙක්ගේ බඩක් ඇතුලට වෙලා ඉන්න එක එයා දැක්කේ ලෝකේ තියෙන අමුතුව විශේෂම දේ විදිහට..එයා පාරේදී බඩදරු අම්මා කෙනෙක් දැක්කත් මොනවාම හරි අරන් දෙනවා..සුදාරට අම්මා කෙනෙක් වෙන්න ඕනිවට වඩා සුදුසුකම් තිබ්බත් දෙවියෝ එයාට ගර්භාෂයක් මවලා තිබ්බේ නැහැ..සුදාර ඒ නිසා එයාගෙම ළමයෙක්ව  එයාම හිතෙන්  මවාගත්ත ගර්භාෂයක ආරක්ෂා කළා..


සුදාර හීන දැක්කේ මාවත් පටලවාගෙන..එයාට ඕනි වුනේ ඩිග්‍රී එක ගත්ත ගමන් මාත් එක්ක රට යන්න..ගිහින් ලස්සන නගරයක් මැද්දේ පුංචි ගෙයක් ගන්න..එයාට ඕනි වුනා හැමෝටම මාව එයාගේ මහත්තයා කියලා පෙන්නන පුළුවන් රටකට ගිහින් කසාද බඳින්න..දරුවෙක්ව හදාගන්න අරගන්න..එයාගේ හීන ඔක්කොම වගේ පරිභ්‍රමණය වුනේ මගේ වටේ..


ඒත් මම හිටියේ දෙලොවක් මැද්දේ තට්ට තනි වෙලා..


ගෙදර එකම දරුවා වෙච්චි මම පවුලේ බර උරහිස් වලට අරගන්නේ කොයි මොහොතේද කියලා බලන් ඉන්න අප්පච්චි, දොස්තර හරි ඉංජිනේරු හරි ලේලියෙක් ලොකු හෝටලේක මගුල් කාලා අරන් එනකන් බලන් ඉන්න අම්මා, එක පැත්තකට වෙලා මං දිහා බලන් ඉන්නවා මට පේනවා..පරම්පරාව ගෙනියන්න දරුවෙක්  ලැබෙනකන් බලාගෙන ඉන්න නෑ සංහතිය තව පැත්තකින් බලාගෙන ඉන්නවා..ඒ හැමෝටමත් වැඩිය, මගේ ඇඳේ මගේ අත් දෙක මැද්දේ හිර වෙලා ඉඳගෙන මගේ ආදරෙන් පපුව පොඟවමින් ඉන්න සුදාර එයාගේ හීන මල්ලත් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා..මම දන්නේ එකම එක දෙයක් විතරයි..කොයි දේ අතහැරියත් මම පරාද විත්තිය විතරයි..සුදාර එයාගේ ගෙදර අතහැරලා දාලා මාව හොයාගෙන ආවාම මට මොනාද කරන්න ඕනි කියන එක ගැන හිතා ගන්න බැරි වුනා..සුදාර හීනෙන් මොනවා නම් දකිනවා ඇද්ද..මම හෙමින් ආයිමත් ජනේලය වහලා දාලා සුදාර ලඟින් ඇලවුනා..







Comments

Post a Comment

Popular Posts