පෙම්වත වෙත ලියමි

මේ කැළැල් නිකළැල් ඔබ සිදු කළ ඒවාය..කුඩා සදාකාලයක් ඔබ හා විසුමෙන් හටගත් ඒවාය..
කඳුළු වලාකුළු අතරින් ඔහේ රූටා වැටෙන මතක පොද වැස්සෙන් තෙමෙන, තෙමී පෑරී රිදුම් දෙන කිසිදාක සුව නොවෙන ඒවාය...


මේ කැළැල් ඔබ නමින් මා පරිස්සම්කරන වේදනාබර ඒවාය...ඔබට නොපෙන්වන කිසිදාක ඔබ නොදකින නොනවත්වාම ලේ ගලන බිඳුන සිහිනයක තුඩකින් සීරුන ඒවාය...


පෙම්වත, මේ භද්‍ර කල්පය කුඩා තප්පර වලට, නැත්නම් ඊට කුඩා මිලි තප්පර වලට වෙන් කරමින් මම ඔබ සිටින තප්පර සහ මිලි තප්පර හදවත හැඩති මූල් මල්ලකට එක්කාසු කරමින් සිටිමි...


ඒවා කිරි කවඩි, කුඩා මිණිගෙඩි හා සුසුම් හූයක අමුණමින් මේ තනන්නේ ඔබේ සිනහවක හඬට සමපාත ලෙස හඬන පා සළඹක් බව ඔබ දන්නෙහිද? ඒ පා සළඹ හඬවමින් මම ඔබ සිටින දිසාවක් ගැන හෝඩුවාවක් සොයන්නෙමි... පෙම්වත කොතරම් දුෂ්කරද නමක් ගමක් හෝ හැඩරුවක් නොමැති කෙනෙකු ගැන හෝඩුවාවක් සෙවීම..


සංසාර සුගන්ධයෙන් විකසිත වන ගන්ධාර දේශයේ ශෘංගාර කුසුම් දම්වැල් වලින් ඔබ වෙලාගත්තේ වෙද පෙම්වත.. නින්නාද වන මධුර කන්කළු ස්වර සුතුර ගිලිහෙනා වීණා තතක ග්‍රහනයෙන් මිඳෙනු නොහැකිව ඔබ,ළතැවිල්ලේද පෙම්වත...මම බියෙන්මි..සියළු බිය පරදවා ඔබ අහිමි වේ යැයි ඇතිවෙන අකාලික බියෙන් මා තැවෙමින් සිටිමි..පවසන්න ඔබට හැකිවෙයිද,  මෘදු හඬින් අමතන කුඩා පක්ෂියෙක් අත ඔබ සුවෙන් යැයි පණිවිඩ දෙන්න...   



ක්ෂීරපථ සාගර ධවල රළ ගෙඩි අතර දිළිසෙන කුඩා සිප්පි කටු මෙන් තරු,මදහසින් අප රවටන, මදක්වත් උපකාර නොකර උදෑසන අප හැරගොස් සඳට තතු පසන..පෙම්වත මේ විසල් අහසේ ඔබ කොතැන නම් සිටිනු දැයි සොයා මට වෙහෙසය...කිසි උදව්වක් නොමැතිව අහස මත අයාලේ යෑම ගැන ඔබට දුක නොමැතිද..



මේ ශිඛරය හිස් මත මිඳෙන මදක් ලුණු රස කඳුළු, හිමය...ඒ හිම මත ඔබේ පා ලකුණු ඉතිරිව පැවතීමේ අනුහසට මම ප්‍රේමය යැයි නම් තැබීමේ වරද නම් කිම...දෙවියන් ඉදිරියේ සඳුන් දර සෑයක දැවෙන කුඩා ඔබ නිසා මා විරහ ගින්නෙන් දැවෙන විට, ඔබ බොහෝ ඈතක සැඟව සිටීම යුතු දැයි මම විමසමි... මේ අපතේ යන ප්‍රේමයට වග කිව යුතු ඔබ නොවේද..  මේ අපතේ යන්නේ ප්‍රේමයේ දියවෙමින් මම ය...


පෙම්වත, ඔබ මා දුටු දිගුම සරතය... ක්‍රිම්සන් පැහැයෙන් සියොලඟ තෙමා ගත් වියපත් පත්, ශීත උතුරු සුලඟක සීත හසුන්පත්, මේ සියල්ලම අතර සිට අහම්බෙන් මුණ ගැසී මට මඟහැරෙන ඔබ...මම කිසිත් නොදනිමි..මේ කලියුගයේ නිමාවට පෙර තප්පරයේ ඔබ පැමිණියොත් නම් ඇති..    


Comments

  1. //මේ කැළැල් ඔබ නමින් මා පරිස්සම්කරන වේදනාබර ඒවාය...ඔබට නොපෙන්වන කිසිදාක ඔබ නොදකින නොනවත්වාම ලේ ගලන බිඳුන සිහිනයක තුඩකින් සීරුන ඒවාය...//

    සීරුනු පෑරුනු තුවාල වුනු හැම එකකටම ප්‍රතිකාර කොට ඒවා සුවකර ගන්න. ඉන්පසු ඔබට වේදනාවක් නොදැනෙනු ඇත...රාත්‍රිය තවමත් තරුනය...

    ReplyDelete
  2. ඒක කොහොම ලිව්වා කියලා මම විශ්වාස කරන්නද?

    ඇත්තටම මෙය නම් විශ්මයජනකයි. අපුරුයි

    ReplyDelete
  3. අපූරු රිද්මයක් සතු ලිවිල්ලක්..

    ReplyDelete
  4. නුඹේ දෝෂාරෝපණයේ දෝංකාරය, මගේ අකර්මණ්‍ය හද ගර්භයේ, මෝහන්දකාර කරමින් ශේෂ වූ ප්‍රාණයෙන් නිර්නය කරන ලද්දා වූ, ජීවී බවට කැලැල් නොව පරිශුද්ධවම මහා වණයක්ව උපද්දවමින් සිටිනාහ...


    නුඹ දක්වන්නා ලද "නිකැලැල් ව හුන්" ඔබේ කැලැල් පිලිබඳ නිකැලැල් මගේ මගේ වූ සහසම්බන්ධතාවය පිලිබඳ මෙසේ කුරුටුලමි...


    නුඹට "කුඩා සදාකාලයක්" වූ ඒ සා කුඩාතම සමය, මහා කල්ප ලක්ෂයකටත් වැඩියෙන් නුඹ හා ප්‍රේමයෙන් ඔද්දල්ව හුන් මගේ ආශ්චර්යතම සමයයි...


    නුඹ විසින් රුදුරුව නම් කරන ලද්දා වූ නුඹේ කැලැල්වල සහේතුක මූලය මා බව ඉඳුරාම පිලිගනිමි... නමුත් ඒ මගේ නොව අපගේ සහයෝගයෙන් උපත ලද අතීතය, නුඹේ කඳුලු වලින් මතකයන් සේ උපත්තිය ලබා නුඹ යථොක්ත පැවසු කැලැල් තෙමමින්, පාරමින් රිදුම් දෙමින් සුව නොවන ඒවා නම්...! අකර්මණ්‍ය වෙමින් පවතින මගේ හදවතට නුඹේ දෙස් දෙවොලෙහි හී සර තවදුරටත් මා විසර්ජනය කරනු මිස අන් කිසිවක් නොකරන බව මෙසේ ලියා තබමි... නොඑසේ නම් මා මියෙනු ඇත...

    ඉතිරිය කියවන්න මගේ පිටු හාරන්න... ඔක්කොම ඔබන්න බැහැනේ කොමෙන්ටුවක... අමා ලියමන විශිෂ්ටයි ...

    ReplyDelete
  5. මේ වචන ගැළපුමනම් මරු, අමා.

    ජයවේවා!!!

    ReplyDelete
  6. ඉන්ද්‍රජාලික අකුරු !!

    ReplyDelete

Post a Comment