ඊරියෙක් , වළාකුළක් සහ කතාවක්
“ඔයා කවුද?”
“මමද? මම කවුරුත් නෙමෙයි”
“????”
“ඔයා කවුද?”
“මම වලාකුළක්”
“ඉතින් එහෙනම් ඇයි පොළවේ ඉන්නේ..වලාකුළු අහසේ නෙමෙයිද තියෙන්නේ?”
“ඔව් අහසේ තමයි තියෙන්න ඕනි.එක තමා නීතිය. මාව බිමට වැටුණා.ලිස්සලා.”
“අපරාදේ නේද?අහසෙත් තියෙනවද අනේ කෙසෙල් ලෙලි පාරේ දාලා.”
“පිස්සුද කෙසෙල් ලෙලි වලට ලෙස්සන්නේ නැහැ.මම වැටුනේ ප්ලේන් එහෙකින් ලීක් වුන තෙල් වගයකට ලෙස්සලා.”
“ඉතින් ඔයා ආයිත් අහසට යන්න අදහසක් නැද්ද?”
“තිබ්බා.එත් යන්න විදිහක් නැති නිසා දැන් අදහසක් නැහැ.”
“විදිහක් නැහැ කිව්වේ?”
“මට පාර මතක නැහැ.”
“අහසට යන්න මොන පාරවල්ද මෙයා.උඩ බැලුවා ගියා.අර තියෙන්නේ අහස.ෂුවර් නැහැ නම් මගේ මේ දබරඟිල්ල දිගේ බලන්න.”
“උඩ තිබ්බට යන්න මට පාර මතක නැහැ”
“ඇයි ඔයාට පාවෙන්න පුළුවන් නෙව.වළාකුලක් වෙච්චි.”
“මට දැන් පාවෙන්නත් බැහැ.”
“ඒ ඇයි?”
“මම ආදරේ කලා.ඒ කාලේදී මට පාවෙන්න පුළුවන්.එත් යන්න උවමනාව තිබ්බේ නැහැ.පස්සේ මම ආදරේ කරපු කෙනා පාවෙන්න ගත්තා.එයා හීලියම් පුරවපු බැලුමක් වගේ පාවෙලා පාවෙලා ගියා ගියා.ඉතිරි වුනේ මම විතරයි.මට පාවෙන්න ඕනි වෙනකොට මට පාවෙන්න පුළුවන් කම නැති වෙලා.”
******************************************************************
“ඔයා කවුරුත් නෙමෙයි වෙන්න කලින් කවුද?”
“මම ඊරියෙක්.කාලෙකට කලින්.”
“කොච්චර කාලෙකට කලින්ද?”
“මම කාලය එක්ක ලොකු ගනුදෙනුවක් නැහැ.”
“ඉතින් මොකෝ වුනේ ??”
“ලොකු දෙයක් සිද්ද වුනේ නැහැ.මම කසාද බැන්ද.පස්සේ මට ළමයි දෙන්නෙක් හම්බුනා.දෙන්නම කොල්ලෝ.මට තිබ්බේ ඊරියෙක් විදිහට ඉස්සරහට තියෙන කාලයත් ගෙවලා ඉවරයක් කරන්න.අන්තිමට මසට.”
“මසට??මරනවද?”
“නැහැ සහ ඔව්. දිනපතා මියයාම එක සැරේ මැරෙන එකට වඩා අමාරුයි.පස්සේ මම බැඳපු කෙනාගේ වාසගම අතැරල දාලා ඊරියක් කියන ස්වභාවයෙන් දුරස් වුනා.”
“ළමයි.??”
“මම හිතන්නේ එයාලා දැන් ඉන්නේ කවුරුවත් නොවෙන අම්මෙක් උවමනාව නොවෙන තරම් වැඩිලා.”
“ඉතින් ඔයා ඔයාගේ මහත්තයට ආදරේ කලාද?”
“මම තවමත් උත්තරය හොයමින් ඉන්නවා”
******************************************************************
“ඔයා කොහෙද යන්නේ??”
“කොහෙවත් නැහැ.මම ඔහේ ඇවිදගෙන යනවා.අමතකද මම වලාකුලක් විත්තිය.”
“මම ඊරියෙක් වෙලා ඉන්න කාලේ මට හම්බුනා කෙනෙක්ව.එයා මට තටු දෙනවා කිව්වා. ඉගිලෙන්න”
“ඉතින් දුන්නද?”
“නැහැ.අම්මලා කැමති වුනේ නැහැ.අපි උඩරට. එයා පහතරට.ඉතින් පස්සේ මම කසාද බැන්දම එයා වෙන කාටද තටු දීලා තිබ්බා.”
“කාටද ගිහින් දීල තිබ්බේ?”
“ඉබ්බියෙක්ට.”
“ඉතින් ආපහු ඉල්ලගන්න අමාරුයි නෙව.”
“ඔව්.එයා එක නිසා හරියට වද වුනා කියලා ආරංචි වුනා.”
“අපි මුහුදට යමුද?රැල්ල පාගන්න පුළුවන්.”
“මම කුඩයක් ගෙනාවෙත් නැහැ.කවුරුහරි දැක්කොත්?”
“ඉතින් මොකෝ ඔයා කවුරුත් නෙමෙයි නෙහ්.”
“ඔයා මට ආදරේ කරනවද?”
“මම හිතන්නේ ඔයා ප්‍රශ්න අහනවා වැඩියි.”
“ගෑනු එහෙම තමා. ගෑනුන්ව ආරක්සා කරගන්න දෙවියො දීපු අවියක් තමා සැක කිරීම.”
“ඔයා එනවද? රැල්ල පාගන්න.”
“මම එන්නම්.මම ඔයාට ආදරේ කරනවා කියලා නොහිතනවා නම්.හැබැයි ආදරේ කරාවි කියලා මට සැකයි.”
“හ්ම්ම්”
“ඔයා ආපහු යනවද අහසට”
“මට සැකයි!”
“කාවද?”
“මාවම”
අනේ මන්දා...
ReplyDeleteටිකක් අපි අතරමං වුනා වගේ දැනුනා..
ඒ කියන්නේ ලස්සනට ම ලියලා තියෙනවා...
ජය වේවා...
ඒක මරු ..
ReplyDeleteඅමා. මේක හරිම ලස්සනයි. මේ සරළ වචන ගැළපීමට මම කැමතියි.
ReplyDeleteජයවේවා!!!
අමුතුම කතාවක් අමා
ReplyDeleteහැමෝටම ස්තූතියි ^_^
ReplyDeleteගොඩක් කාලෙකින් ලියන්න හම්බුනේ
හොඳ කතාවක් අමා..
ReplyDeleteපට්ට.......කියවද්දී එක එක ඒවා හිතෙනවා.......
ReplyDelete