ඇය සහ කුඹ ගස
ඒ කවි සියල්ලම අසම්පූර්ණව කඩදාසි වලම පැවතුණා...ඒ කඩදාසි කිහිපවරක්ම නැවීම් සහ දිග හැරීම් වලට මුහුණ දීමෙන් පසු , ඉතා ශෝභන ළමා කඩදහි බෝට්ටුවක් වීමට පෙර..
ඇය පැමිණියේ ඒ කඩදහි බෝට්ටු "කඩදාසි නැව්" බවට පත් කළ යුතු බවට ඉල්ලිමක් ලියපු කඩදාසියකුත් සමඟ..ඝනකම සුදු කඩදාසියක්.. රෝස හෝ රතු යැයි පැවසිය හැකි බෝපත් ලකුණු සහිත...මම ඒ කඩදාසිය මුලින්ම නැව්වා හරියටම දෙකට..පසුව නැවත දෙකට..දෙකේ ගුණාකාර වලට!
නෝවාගේ නැවට වඩා තරමක් කුඩාවට නැව සෑදුවා...විසාල විසිත්ත කාමරයක්,බීර හලක්, කෝපි මේසයක් සහ ඇඟ සෝදාගත හැකි නාන බේසමක් ඇයගේ රුචිය පරිදි නැවේ අස්ථානගත අහුමුළු වල විස්ථාන ගත කළා...ඒ කුඹ ගසක් නොමැතිව නැව නැවක් විය හැකිද..ඇයට නාන බේසමට වඩා කුඹ ගසක් අවැසි වුණා....මම බීර බොන අතරතුර ඇය සාඩින් මාළුවෙක්ට වග කීවා...
ඇය පාන්පෙති තුනක්,බටර් රාත්තලයක්,ගම් බිත්තර හතරක් හා වයින් බෝතලයක් අඩුක් කරගත්ත පන් මල්ල කරේ එල්ලගත්තේ කුඹ ගහක් හොයාගෙන යන්න...අපේ නැව වෙනුවෙන් ඇය නැව් නැග්ගා...අපේ නොවෙන නැවකට...
මම ඇය නැවත එනතුරු සිතුවිලි සහ ආසාවල් හැකිතාක් නානබේසමේ පතුළේ ඔබාගෙන සිටියා...බොහෝ දුර ගමන් ගියත් විස්ථාපනය ශුන්‍ය වුනා...රේඩියෝවෙන් වුනත් නිතර ඇහුනේ සිරියාවේ යුද්ධය සහ පුටීන්ගේ තට්ටය වගේ බහුබූත....මම කකුළ් දෙක පුටුවක් උඩට අරගත්තා..මම සියළු සම්බන්ධකම් අතහැරියේ එහෙම...කකුළ් පුටුවක් උඩට අරගෙන!!
දින සති හා අවුරුදු ඉලක්කම් බර ගණනාවකට පසුව ඇය නැවත පැමිණියා...දෑස් යට අඳුරුව, කෙසඟ උරහිස් වල පන් මල්ල එල්ලගෙන....හිස් වයින් බෝතලයක් අතැතිව...ඇය තව දුරටත් ඇය නොවෙන විත්තිය මම දැනගෙන හිටියා...ඇය ඇයව මඟ දමා පැමිණියා විය හැකියි..නමුත් වඩා වැදගත් පැමිණිමයි...වඩාම වැදගත් වෙන කුමක්ද?
"කෝ කුඹ ගස?"
ඇය හිනාවුනා...
"කුඹ ගස මුල් ඇදලා පැළ වුනා අතරමඟ..."
"එහෙනම් මොනවද ගෙනාවේ මට??"
"මම ඔයාට පාන් පෙත්තක් ඉතුරු කරගෙන ආවා"
"එච්චරද??"
"තව ගෙනාවා...ඒත් එව්වා පේන්නේ නෑ..ඔයාට ඔනි නම් දෙන්නම්"
"මොනවද??"
"මොනවා කියලද හිතන්නේ??"
****************
අගෝස්තුව වැසි රහිතව ගෙවෙමින් තිබුණා...ඇය තවම අඩක් නිම කළ කෙටි කතාවක සිරවෙලා...ඇය සියළුම වෙහෙස ලියන මේසය මත තබා අවසන්...ඇය බොහෝ විට නින්දේ..නැත්නම් අඩ නින්දේ...නළලෙන් දාඩිය බින්දු උනමින් අතුරුදහන් වෙමින් තිබුණා...
මම ඇය අසළ ඉඳගෙන ඇගේ සුදු කෙස් ගණිමින්, ඇය පොඩි කර විසිකරන ලද කවි කියවමින් , ඒ කඩදාසි වලින් බෝට්ටු සදමින්..
බාගදා හෙට , අනිද්දා, ඉන් අනිද්දා,ලබන සතියේ,ලබන මාසේ වහීවි යැයි සිතමින්...
ඇය පෙඟෙමින් සිටියේ දාඩියෙන්....මම ඇගෙන් කිසිදාක ඒ නොපෙනෙන තෑග්ග ගැන විමසුවේ නෑ...මට කුතහලය තිබුණා සහ තියෙනවා...ඒත් බාගදා ඒ නොපෙන තෑග්ග මා සඳහා නොවෙන්න පුළුවන්....මා සඳහා වන ඉතිරි වුන පාන් කෑල්ල මට යහපත්...තව ඇයව මෙලෙස නැරඹිම පවා තෑග්ගක්...කුඹ ගසක් නොමැතිව පවා ඇය මෙලෙස රැඳීම පවා!!
මම දැනගෙන සිටියා තව දෙයක්...කුඹ ගස් පැළ නොවෙන වග...
මම සියළු සම්බන්ධකම් අතහැරියේ එහෙම...කකුළ් පුටුවක් උඩට අරගෙන// වඩාත්ම කැමති කොටස. ජයවේවා !!!
ReplyDelete