අලුත් අවුරුදු හිතළු
අලුත් අවුරුද්දේ ඉෂ්ට කරගන්න ඔනි බලාපොරොත්තු දොළහක් කොලේක ලියන්න හැදුවාම තමා තේරුනේ ඒම මහ විසාල බලාපොරොත්තු නැහැ නේද කියලා.. බලාපොරොත්තු අඩු ගමන් මල්ලක් අරන් ඇවිදින නිසා මෙහෙම වලාකුළක් වගේ ඉන්න පුළුවන් එක කොයිතරම් දෙයක් ද.. දිනපතා මූණ දෙන්න වෙන කරදර, දුක හිතෙන දේවල් ගැන ඒ වෙලාවට දුක් වෙලා පස්සේ අමතක කරන්න පුළුවන් තරමට හිත හදාගන්න පුළුවන් වෙනවා නම් මම කැමති..තනියම ජීවත් වෙන එක කොයිතරම් යහපත් සනීපදායක දෙයක් ද කියන එක හොදටම තේරෙන්නේ, මට විතරක් යාන්තමට ඇහෙන්න දාගෙන තියෙන මිහිරාන්ගේ අලුත් සිංදුව අහන ගමන්, කඩදාසියක මම අනාගතේ ජීවත් වෙන ( ඒ තරම් කාලයක් ජීවත් වෙලා හිටියොතින්) අපාර්ට්මන්ට් එකට ගන්න ඔනි බඩු මොනවද කියලා හිතනකොට.. අහස් නිල් පාට කාපට් එකක්, සුදු ළා රෝස ජනෙල් රෙදි, සුදුම සුදු පාට බිත්ති.. ළා රෝස පාට ජනෙල් රෙදි ජනේලය ඇරියාම මුහුදු හුලඟට පාවෙන හැටි හිතින් මවාගන්න ඔයාට පුළුවන් ද, මට නම් පුළුවන්..
රිසච් එකට පණ තියෙන සත්තු එක්ක ගණුදෙනු කරන්න පටන් ගත්තාම මට තේරුන දෙයක් තමා හැම සතෙක්ම තමන්ගේ ජීවිතේට කොයිතරම් ආදරෙයිද කියන එක.. චූටි ඉස්සෝ පැටව්න්ට කන්න දාන Brine shrimp ලා පවා ජීවත් වෙන්න කොයිතරම් දඟලනවා ද,මහන්සි වෙනවාද කියන එක.. ඒ දිහා බලාගෙන ඉන්නකොට ජීවිතේ කියන්නේ කොයිතරම් වටින දෙයක් කියන එක ගැන නිතර නිතරම මතක් වෙනවා.. අපිට අනිත් අපේ වටේ ඉන්න ජීවත් වෙන ජීවිත ගැනත් කොයිතරම් වගවීමක් තියෙනවාද කියන එක තේරෙන්න ගන්නවා..
ජීවිතේ වටිනාකම හොදටම දැනෙන්න නම් මරණය ගැන නිතරම හිතන්න ඔනි කියලා මට ඇත්තටම හිතෙන්න පටන් ගත්තේ ලඟදි.. මරණානුස්සතිය ගැන අහලා ඉගෙනගෙන විභාග ලිව්වාට, "මැරෙන එක ගැන හිතහිතා ඉන්න එක මොන විකාරයක් ද?" කියලා මට හිතුන වෙලාවල් අනන්තයි.. ඒත් ලඟකදි ඉදලා "මම දැන් මැරෙන්න පුළුවන් නේද, ඒම නැත්නම් හෙට, මේ ලියලියා ඉන්න තප්පරේදි එකපාරටම මැරිලා වැටෙන්න පුළුවන් නේද" කියන එක නිතරම හිතන්න පටන් ගත්තා.. ඒම හිතන නිසාම හිතට දැනෙයි කියලා හිතුන දුක, භයට වඩා හිතට දැනුනේ වලාකුළක් වගේ සැහැල්ලුවක්.. මරණය ගැන නිතරම හිතනකොට මේ ඉන්න තප්පරේ මම සතුටින් ඉන්නේ නැත්තේ ඇයි කියලා හිතෙනවා.. මරණය නරක නපුරු අඳුරු ආගාධයක් කියලා අපි හිතෙන් හදාගෙන ඉන්න අදහස හෙමින් තුනී වෙලා යනවා.. මැරෙනවා කියන එක accept කලාම ඒක හරිම ශාන්ත සතුටු හිතෙන දෙයක්.. මම තාම සීයට සීයක් ඒම නැති වුනත්, මේ ටික දවසට ජීවිතේ අවිනිශ්චිත ගතිය නිසාම තියෙන වටිනාකම ගැන බොහෝම පොඩියට දැනෙන්න පටන් අරන් තියෙනවා..
බොහෝම හෙමින් ඇහෙන ඈත යන වාහන සද්දෙයි,සැරෙන් සැරේට සද්ද කරන ෆ්‍රිජ් එකයි ඇරෙන්න කිසිම සද්දයක් නැති මේ චූටි කාමරේට වෙලා මම තාම බලාපොරොත්තු දොළහක් මතක් කරනවා..
අමාගේ සිහින සාප්පුව නිතිපතා ලියන එක එක බලාපොරොත්තුවක් කරගන්නකෝ!
ReplyDelete