නිරෝධායනය

 එළියේ අහස මහ පොළවට කඩන් වැටෙනවා ඇහෙනවා.. "නිරෝධායනය වන නිවසකි" කියලා ගේට්ටුවේ ගහලා ගියපු කොළ කෑල්ල දිය වෙලා ගිහින් ඇති මේ වැස්සට.. කොළේක ලියා ගත්ත කාලසටහනකට දුම් අල්ලන්න ඔනි.. පස්වගේ තම්බන්න ඔනි..සමහර ප්‍රශ්න ආවාම "අනේ මාව මැරිලා යනවා නම්" කියලා මට හිතිලා නෑ කියනවා නම් බොරු..ඒත්, කවුද කැමති මේ විදිහට මැරෙන්න.. 


මට මතකයි කුමාර මගේ උරහිස උඩ ඇස් පියාගෙන නිදාගෙන ඉන්නවා.. ඒ වගේ වෙලාවට එයා අහන්නෙ පිස්සු ප්‍රශ්න.. "ඔයා හිතන්නේ මම ඔයාට කොච්චර ආදරේ කියල ද?", " ඔයාව මට කරේ තියන් අර ෆිල්ම් වල වගේ කන්දක් නගින්න බෑ කියලද ඔයා හිතන් ඉන්නේ?" වගේ ඕලෙවල් කාලේ ලව් ප්‍රශ්න.. දවසක් ඇහුවා "ඔයාට පියාඹන්න හම්බුනොත් මොකෝ කරන්නේ" කියලා.. ඇත්තටම මට පියාඹන්න හම්බුනොත් මොකෝ කරන්නේ කියන එකට ලස්සන පැහැදිලි උත්තරයක් තිබුනේ නෑ.. බාගදා මම ඔහේ පියාඹ පියාඹ ඉදීවි.. මන්දා, මට තාම හිතා ගන්න බෑ උත්තරයක්.. ඒත්, කුමාර කිව්වේ එයාට මාවත් අරන් එයාට මාව කසාද බදින්න පුළුවන් රටකට පියාඹලා යන්න ඔනි කියලා.. මේ වෙනකොටත් එකට ජීවත් වෙච්ච අපිට, අමුතුවෙන් මොන් කසාද කියලා මම අහලා හිනා වුනා..


කුමාරට හුස්ම ගන්න අමාරු වෙනකොට පාන්දර දෙකයි.. ඇම්බියුලන්ස් එක ආපු ගමන් කුමාරව දාගෙන යන්න කලින් එතන හිටපු කෙනෙක් "මෙයා ඔයාගේ කවුද?" කියලා ඇහුවාම, මට දෙන්න උත්තරයක් නැති වුනා.. ඇත්තටම මම කවුද.. "මම යාලුවෙක්" කියලා කිව්වේ විනාඩි ගාණක් හිතලා..


කුමාර ඉස්පිරිතාලෙ ගිහින් හොදින් ඉන්නවා කියලා මට කෝල් කලා පළවෙනි දවසේ.. එයා කෝකටත් එයාලගේ ගෙදර අයට කියලා තිබ්බා මේ අසනීපේ නිසා ඉස්පිරිතාලෙ වග.. "ඔයා බය වෙන්න එපා.. ගෙදර අය ඉන්නවා නෙහ්.. එයාලා මං ගැන පුළුවන් විදිහට බලයි.. ඔයා මහන්සි නොවී ඉන්න" කුමාර අන්තිමට කෝල් කලාම මට කිව්වෙ එහෙම..


ඉලඟ දවසේ කෝල් කලාට කුමාරගේ ෆෝන් එක වැඩ කලේ නෑ.. මම හිතුවේ බැටරි බැහැලා ඇති කියලා.. මම ආයිත් හවස කෝල් කලාමත් වැඩ කරපු නැති නිසා කුමාරගේ අම්මාට කෝල් එකක් ගත්තා..


"ඇන්ටි, කුමාරට කොහොමද දැන්?"


එහා පැත්තෙන් ඇහුනේ මහලතනියක්.. මට  දැනුනේ ලෝකේ එක පාරට නතර වුනා වගේ.. මම හිතන්නේ ටික වෙලාවකට මගේ පපුව නවතින්න ඇති.. ආයිත් පියවි සිහියට එනකොට ඇස් දෙක පුපුරකා කඳුළු කඩාගෙන වැටෙන්න පටන් ගත්තා.. එයා ගැන මට කියන්න තරම් වත් ඉස්පිරිතාලෙට උවමනාවක් තියෙන්නේ නැතිව ඇති.. නිකන්ම "යාලුවෙක්ට" ඔය දේවල් කියලා වැඩක් නෑ කියලා එයාලා හිතන්න ඇති.


ෆේස්බුක් එකට ගියාම තම දැක්කේ කුමාරගේ යාලුවෝ හැමෝම සුදු කොඩි වෝල් එක පුරාම ශෙයාර් කරලා තියෙනව.. හැමෝම කුමාර එක්ක තිබ්බ හොද මතක ගැන ලියලා නිවන් සුව පතලා තිබ්බා..


මගේ පපුව ගැලවිලා බිම වැටෙන්න තරම් රිදෙනව.. දුක කියන්න, දුක බෙදගන්න අතට අහුවෙන සීමාවේ මිනිස් පුළුටක් නැති කොට, ඇඟ පුරාම ඒ වේදනාව කටු අනිනවා වගේ දුවනවා.. කුමාර ඉස්පිරිතාලෙ යන්න කලින් ඇඳන් හිටිය සරම තාමත් ඇඳ විට්ටමේ තියෙනවා.. 


තමන් ආදරේ කරපු මිනිහාව දෑහටවත් නොදැක සදහටම  නැති වෙලා යනකොට, ඒ දුක බෙදාගන්න මේ ලොකේ මිනිස් පුළුටක් වත් නැති වෙලා යනකොට, ලෙඩ වෙලා දුර්වල වෙලා ඉන්නකොට, කෑ ගහලා අඬාගන්නත් වාරු නැති වෙලා යනවා..


ෆේස්බුක් මැසේජ් වල "උඹේ යාලුවා නැති වෙලා නේද?" අහන මැසේජ් පපුවට කටු අණිනවා වගේ.. ඒ මගේ යාලුවා විතරක් නෙමෙයි කියලා කියන්න බැරිව හිත අස්සේ දාහක් දේවල් පිපිරෙනවා දැනෙනවා..


අනේ එකම පාරක් බලන්න තිබ්බා නම්, එකම එක පාරක් ඉඹින්න තිබ්බා නම්.. ඒ දවස් වල අහපු මෝඩ ප්‍රශ්න වලට දැන් මට උත්තර තියෙනවා කියලා කියන්න තිබුණ නම්..




Comments

  1. කතාවත් ලස්සනයි 4to එකත් ලස්සනයි ��♥️

    ReplyDelete

Post a Comment

Popular Posts