දහස්පෙති






 පෙර කතාව-


"මම හිතන්නේ උඩම තට්ටුවේ ඉදන් පැනලා වෙන්න ඔනි..මේ වැස්ස අස්සේ ඔව්වා ඉතින් පේනවා කියලෑ..අනික ඔව්වා කියන්න ගිහින් නැති කරදර"


රතු පාට මාස්ක් එකක් ඒම කියන ගමන් කම්මුලට අත තියන් බලන් ඉන්නවා.. 


"තට්ටු හතක් කියන්නෙ සෙල්ලම් ද ඉතින්"


තවමත් වැස්ස ඉවර වෙලා තිබුනේ නැහැ..කුඩ වල අගිසි වලට ඇස් ඇමිණෙන්නේ නැති වෙන්න කුඩය ඉහිලගෙන ඉන්න අමාරුම තැන මිනිස්සු ටික ටික විසිරිලා යන්න පටන් අරන් තිබුණෙ.. "ඇම්බියුලන්ස් එහෙකට කතා කලා.. දැන් එනවා ඇති.. ඒත් දැන් ඉතින් ගෙනිච්චා කියලා වැඩක් වෙන එකක් නෑ"


ඒ කටහඬ ආවේ කොහෙන්ද කියලා නොදන්නවා වුනාට, ඒ කියපු දේ ඇත්ත විත්තිය හැමෝගෙම ඇස් වලින් පෙනුනා..

 

වැස්ස එන්න එන්නම වැඩි වුනා විතරයි.. සුදුපාට කමිසය අස්සෙන් රතුපාට ලේ පාරක් ගලාගෙන ඇවිත් වැහි වතුර එක්ක කාණුව් දිගේ ගහගෙන යනවා පෙනුනා.. 


****කතාව***


සමනල්ලු පියාඹන්න පටන් අරන් තිබුණා.. පුංචි දළඹු කෝෂයක් ඇතුළේ ඉදගෙන, අත්තටු වලට උන් පාට තෝරන හැටි තාත්තා ඉස්සර කියලා දුන්නා මට මතකයි..


"දළඹුවෝ සමනල්ලු වෙනකොට උන් ඔය පැහැ අස්සට වෙලා නිකන් ඉන්නෙ නෑ කම්මැලිකමේ.. උන් උන්ගේ තටු පාට කරගන්න එපැයි"


තාත්තා ඒම කියලා විසාල උපැස් වලට උඩින් මං දිහා බලාගෙන ඉන්නවා මට මතකයි.. 


ෆ්ලැට් වල ගස් වවන්න තරම් ඉඩක් නෑ..ඒත් අමාරුවෙන් ඊබේ එකෙන් ගෙන්න ගත්ත දාස්පෙතියා ඇට පැළ වෙලා මල් එන්න පටන් අරගෙන.. තාත්තා හිටියා නම් මේ මල් පුංචි වට්ටියකට කඩලා බුදුන් වඳීවී..මට කොච්චර මතක් කලත් මල් පූජා කරන ගාථාව මතක් වෙන්නෙ නෑ.. කරුමෙ!


ගෙදර අතෑරලා ඇවිත් අවුරුදු පහක් වෙන්න ඇවිත්.. ගෙදර අතෑරෙනකොට පවුලම ඒ එක්ක අතෑරිලා ගියා නේද කියලා මතක් වෙනකොට දුකයි..අම්මා දැන් හිත හදන් ඇති නේද..තාත්තා නම් මම මළා කියලා හිත හදාගන්නවා ඇති...අම්මාට ඒම කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ..මට අම්මා ගැන දුකයි.. මට මං ගැන දුකයි..


"උඹට ඔය ජවුසම් නටාගන්න ඔනි නම් මේ හතර මායිමේ ඉන්න බෑ..පලයන් රෙදි ටිකත්  අරන් දොට්ට"


තාත්තා කිව්වේ ඒම.. මම හිතුවේ රන්දුනු මාව බේරගනී කියල..ඒක ඒම සිද්ද වුනේ නෑ.. හැරෙන හැරෙන පැත්තට මහ ආගාද තිබුණා.. කිසිම එළියක් නැතිව, උදව්වක් නැතිව කොහොමද මං තුවාල නොවී බේරෙන්නේ.. රන්දුනු මාස කිහිපයකට පස්සේ කසාද බැඳලා කියලා ෆේස්බුක් පිටුවක දකිනකන් ම, යටි හිතෙන් එයා මාව බේර ගන්න එයි කියලා හිතන් හිටිය විත්තිය තේරුම් ගන්න බැරි වුනා..මම මෝඩ ද?


වළාකුළු අල්ලන්න පුළුවන් තරම් උඩක තියෙන මේ පුංචි කාමරේ හොයා ගන්න කොච්චර මහන්සි වෙන්න වුනා ද.. තනිවීම කියන එක බොක්කටම දැනෙන්න අරන් තිබුණා.. ඒත් ජීවිතේ අතාරින්න මට ලෝභයි.. පුංචි කාලේ ඉදන් ම ජීවිතේ අපිට යුද්ධයක්.. ඒක මෙහෙමය කියලා විස්තර කරන්න තරම් මට නිච්චි නැහැ.. ඒත්, ඒ තරම් දුරක් ආවාට පස්සේ ජීවිතය මඟදි අතාරින්න ලෝභ හිතෙන්න ගන්නවා..


මම රැවුල වවන්න පටන් ගත්තා...හැමදාම උදේට කණ්ණාඩිය ඉස්සරහට ගිහින්, තෙරපිස්ට් කියපු විදිහට මාත් එක්ක හිනා වුනා.. හැමදේම සතියයි.. ආයිමත් සුපුරුදු භූතාත්ම ඇවිත් පපුව ඇතුළේ පදිංචි වෙන්න ගත්තා..


මට මගේ ඇඟෙන් කොටසක් අඩුයි වගේ දැනෙන්න පටන් අරන් තිබුණේ..ඒ අඩුව මොකක්ද කියලා නොදැනුන නිසා මම, ඒ හිදැස එක  එක පැලැස්තර වලින් වහගන්න උත්සහ කලා..පිස්සුවෙන් වගෙ කෑම හදලා, ඔන්ලයින් මහන්න පුරුදු වෙලා, ටික්ටොක් කරලා.. එක එක විදිහට හිදැස පුරවගන්න හැදුවත්, ඒ කිසිම දෙයක් හරි ගියේ නෑ..ඒ අඩුව ආදරේ ද කියලා මට සැක හිතුනා..


ෆේස්බුක් එකෙන්, එක එක ඩේටින් ඇප් වලින්, නානාප්‍රකාර මිනිස්සු ජීවිතේට එන්න පටන් ගත්තේ ඒ නිසා.. වයසක අය, තරුණ අය, කසාද බැඳපු තලත්තෑනි මිනිස්සු, එක එක කාලෙට එන්න පටන් ගත්තත් හිස්තැන එහෙමම තිබුණා.. 


සුරේශ් ඇවිත් ඒ හිදැසේ වාඩි වුනා.. ඒක කොහොම සිද්ද වුනා ද කියන එක මට තේරෙන්නේ නෑ.. එයා මට ආදරේ නොකරපු එක නම් සහතිකයි.. මට ආදරේ ඔනි වුනත් එයාට ඔනි වුනේ එයාගේ විසාල අත් අස්සේ මාව රඳවගෙන ඉන්න විතරයි.  ඒක ශෝකිය අනුරාගයක්.. කිසිම දෙයක් නැතිව ඉන්න කෙනෙක්ට ඒම දෙයක් වුනත් මහමෙරක් තරම්..


"මේ උඹේ වීඩියෝ එකක් යනවා හතර වටේ ගෲප් වල.. මොනවද මේ කරගත්තේ?"


"ඒ මම නෙමෙයි.. මේ මොකක්ද වෙන්නේ?"


හැමදේම පැයට කිලෝමීටර් සීයක වේගෙන් ඔළුව වටේ කැරකෙන්න පටන් අරගෙන තිබුණා.. කල්පයකට කලින් දැක්ක අම්මා තාත්තා පවා ගල් උස්සගෙන මට ගහන්න ඒවි නේද කියලා හිතෙන්න ගත්තා..


දුරදොඩනය පිරිලා තිබුණ පණිවිඩ, හීනි කියතකින් ඔළුව සූරනව වගේ දැනුණා..මම  දැනන් හිටියේ නෑ කරන්න ඔනි මොනවද කියලා.. 


මම දුවලා ගියේ දාස්පෙතියා මල් පඳුර ගාවට.. කතා කරන්න, දුක කියන්න කවුරුත් නැතිව මාව තෙත රෙද්දක් වගේ බර වෙලා තිබුණේ.. කවදාවත්ම නැතිව තට්ටු හතක් උඩ ඉන්න මගේ දාස්පෙතියා මල් ඉඹින්න සමනලයෙක් ඇවිත් හිටියා... මට ඔනි වුනේ සමනලයාව අල්ලන්න.. මම හිතුවේ සමනලයාට මාව තේරේවි කියලා.. මෝඩ කතාවක් වගේ හිතුනාට,මට ඇත්තටම ඒ වෙලාවේ ඒම හිතුනා.. මට එක වලාකුළක් මඟ හැරිලා පය ලෙස්සලා අහසින් බිමට වැටුණා.. මට මතක එච්චරයි..


***පසු කතාව***


"මිනිය ගෙනියන්න කවුරුත් ආවේ නැද්ද..?"


"අපි කතා කරලා කිව්වා පවුලේ අයට.. මූගේ මිනිය අපිට එපා, මූට මොන ලෙඩ තියෙනවද දන්නේ නෑ කිව්වා"


"ඉතින් අපි මොකද කරන්නේ?"


"සමනල්ලුන්ට කන්න දාමු"

Comments

  1. ගැඹුරුම ගැඹුරු කතාවක් , ලස්සනට ලියල

    ReplyDelete

Post a Comment

Popular Posts