කල්ප..
ඔයා දන්නවද, ආදරේ කියන්නේ මහ එපා කරපු මානසික ලෙඩක්..ඒක හරියට මහ මුහුදක් මැද්දේ අතරමං වෙලා ඉන්න මනුස්සයෙක් තිබහට මුහුද වතුර බොනවා වගේ.. රතු මුහුද, කළු මුහුද , මළ මුහුද, වගේ පාට පාට මුහුද හතක් බිව්වත් තිබහ නැති වෙන්නේ නෑ..ඒක කොයිතරම් වේදනාවක්ද කල්ප..
කල්ප..ඔයා දන්නවද..මම දන්නවා ඔයා ගොඩක් දේවල් දන්නවා කියල... ගොඩාක් දන්න අය කතා කරන්නේ නෑ.. ඔයාට මං වගේ විභාග ස්ට්‍රෙස් එකට ඔහේ දිගට දිගට කියවන පිස්සියක් එක්ක කතා කරන එක වුනත් මහ හිසරදයක් වගේ නේද..ඒත් මට වෙන විකල්පයක් නෑ කල්ප.. මේ කල්පයටම මට තියෙන එකම විකල්පය ඔයා.. මාව අයිති භූගෝලීය කොටසින්, මාව අයිති මානව කොටසින් ගලවගෙන ඇවිත්, පාරක් තොටක් වත් හරියට නොදන්න,කොළඹට අතෑරලා දාපු දෛවය,ඒ විප්පයෝග දුක තුනී කරන්න සම්පයෝග ප්‍රීතියත් එක්ක ඔයාව ගෙනත් දීලා තියෙනවා..
සමහර දවස් වල රෑට ඇස් පොඩි කරකර අකුරු මකමක ලැබ් රිපෝට් ලියන දවස් වලට එක පාරටම එන පොඩි බඩගින්න එන්නේ ඇස් තෙත් කරගෙන කල්ප.. ඒ වෙලාවට ඇස් පිහදාලා ජනේලෙන් එළිය බලන්නේ අම්මාගේ හෙවනැල්ලක්වත් තියේවි කියලා හිතාගෙන..ඔයාට හිනා යනවා නේද.. මම දන්නවා ඔයා හිතන දේ... මට පිස්සු කියල නේද...
මුළු ලංකාවේම මිනිස්සු කොයි වගේද කියලා දැන ගන්න ඔනි නම් කැම්පස් එකට එන්න ඔනි කල්ප.. නිකන් ඇවිල්ලා හිටන් හිටියා කියා වැඩක් නෑ.. ඒ මිනිස්සු එක්ක මුහු වෙන්න ඔනි..ලංකාවේ උතුරු කොණේ ඉදන් දකුණු කොණ වෙනකන් හැම ජාතියේම මනුස්ස සාම්පල් ගොඩක් මැද්දේ මමත් එක සාම්පලයක් තමා...යාළුවෝ ගොඩාක් හිටියට හැමෝටම යාළුවෝ කියන ලේබලේ ගහන්න බෑ කල්ප.. ගොඩක් අය හරියට වැව් වල ඉන්න මාළු වගේ.. අපි ගාව පාන් තියෙනකන්,අපි ඒ පාන් පුංචි පුංචි කෑලි වලට කඩලා උන්ට කන්න වැවට විසි කරනකන් උන් අපි ගාව ඉන්නවා.. ඒත් හැමදේම ඉවර වුනාම උන් යන්න යනවා..කල්ප.. ඇත්තටම ඇත්ත යාලුවෝ ඉන්නේ ලාදුරු හැදිච්ච මනුස්සයෙකගේ අතේ ඇඟිලි ගානට..
කල්ප, ඔයා ඇයි මාව හැමදාම හවසට බලන්න එන්නේ.. හැමදාම ඇයි මම ආසම පාට කමිස ඇදගෙන එන්නේ.. ආසම සුවඳ කොලර් එක අස්සේ යාන්තමට ගාගෙන් එන්නේ..මට බයයි කල්ප.. මට ආදරේ කරන්න එපා.. ආදරේ කියන දේ දැන් ලෝකෙන් වාෂ්ප වෙලා ගොඩක් කල්.. ඉතින් අපි අතරේ ආදරේ අලුතින් උත්පාද වෙන්න විදිහක් නෑ.. විදිහක් තිබ්බමයි කියමු..ඒත් මට බයයි.. ආදරේ අන්තිමටම අන්තිමට ඉවර වෙන්නේ නොසෑහෙන්න දුකක් දීලා.. හෙට අනිද්දා තියෙන විභාගෙට පාඩම් කරලා ඔළුව අවුල් ගිහින් ඉන්න මට ලෝකේ නරකම පෙම්වතිය වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.... මම දවස් ගාණකින් නාලත් නෑ... මට තේරෙන්නේ නෑ කල්ප.. මම අනිත් ළමයි වගේ යන්තරයක් නෙමෙයි.. මට පියාඹන්න ඔනි.. ඒත් පොත් වලට මගේ තටු සීරිලා දැනටමත්..
කල්ප.. ඔයා දැන් යන්න.. මම ඔයාට ආදරෙයි... ඒත් ඒක මේ දැන්ම අමතක කරලා දාන්න.. ඔයාට පුළුවන් කොණ්ඩේ දිගට ගොතන, පවුඩර් දාන, පාට පාට මූණේ ගාන, මම වගේ ගෙවිච්ච බාටා දෙකම ලෝභකමට එක දිගට නොදාන කෙනෙක් හොයා ගන්න...ඒත් එහෙම කෙනෙක් හම්බුන දාටත් ඔයාට එන්න පුළුවන් නේද මේ වගේම.. කොච්චර වැස්සත් කොච්චර පෑව්වත් මං කියන දේවල් අහන් ඉන්න.. මොකද මට ඉන්න එකම අසන්නා ඔයා විතරයි කල්ප.. ඔයාට යන්න දීලා ආයිත් ඇදලා තියාගන්නේ ඒ මහ ආත්මාර්ථය නිසා.. මට සමාවෙන්න කල්ප.. ඔයා දැන් යන්න..
මට ඕනෙ ගතවෙන හැම තත්පරයකදිම ඔයාගෙ ලගින් ඉන්න, දුක සතුට බෙදාගන්න... නිදිමරලා පාඩම් කරද්දි ලගට වෙලා ඔලුව අතගාන්න... ඉතිං මං යන්නෙම නෑ, සත්තයි - කල්ප
ReplyDeleteමට ඕනෙ කතා නොකර ඉන්න. කතන්දර අහං ඉන්න. ඒ වචන අස්සෙ ජීවත් වෙන්න. එහෙම්ම නිහඩව ඉන්න. ඔයා පපුව උඩ තියන් අහස බලන් ඉන්න. බර හුස්ම සැහැල්ලුවට පිට කරන්න.
ReplyDeleteමම,
කල්ප !
This comment has been removed by the author.
ReplyDeleteMata kalpa wenna bari asaranakamak thiyanawa , eth hith kiyannema okkoma atha arala kalpa weyan kiyalaa ❤
ReplyDelete