සෝමසිරි බෝණික්කා
ඉස්සර මේ වගේ ගොරව ගොරව වහින රෑ දවස් වලට අපි උඩහ ආච්චිලෑ දිහා යනවා..ආච්චිලෑ දිහා තියෙන්නේ උස කන්දක් උඩ..කන්දේ පඩි කපලා තියෙන්නේ සීයාගේ තාත්තාලු.. ආච්චී ඒ පඩි පෙළ දෙපැත්තේ දාස්පෙති වවලා තියෙන්නේ...ඒත් දාස්පෙති සුවඳට මට ඔළුව රිදෙන්න ගන්නවා.. මම ආස ලොක්කම්මා වවලා තියෙන රෝස මල් වලට.. එයා මල් වවපු වත්තේ පැත්ත අපිට තහංචියි..ලොක්කම්මා කැමති නෑ එයාගේ ගස් වලට ඇස් වහ ගන්නවට... ඒ පැත්තට දවසක් සූටි මල්ලි ගිහින් හීන් ඉරට්ටකින් ලොක්කම්මා පාර හිටින්න ගහලා තිබ්බා..
ආච්චිලෑ දිහා තියෙන්නේ කාමර තුනයි.. එකක් සීයාගේ තනි පාවිච්චියට.. ඒකේ ලොකු පෙට්ටගමක් උඩ රේස් පත්තර මිටියක් තියෙනවා... සීයා නැති වෙලාවක නම් ඒ පත්තර පිටු බෝට්ටු වෙලා මඬ වලවල් වල පාවෙනවා...සීයා කැමති නෑ එයාගෙ කාමරේට යනවා එනවට..මොකෝ එයා කොණ්ඩේ කළු කරන පැන්සලෙන් අපි කොළ වල චිත්‍ර අදින නිසා.. අපි බයයි සීයට..අපි ඒ නිසා ඒ පැත්තට යන්නේ හොරෙන්..වෙලාවකට සීයා හොදයි.. අපිට ලොසින්ජර ගෙනත් දෙනවා...අනිත් කාමරේ ලොක්කම්මාගෙ.. ලොක්කම්මට දෑවැද්ද ට කියලා ආච්චී හදලා දීලා තියෙන අල්මාරිය, කණ්ණාඩි මේසය එහෙම අඩුක් කරලා තියෙන්නේ ඒ කාමරේ.. ඒ කාමරේ ලස්සනයි පිළිවෙලයි.. සමන් මල් සුවඳකුත් එනවා...අන්තිම කාමරේ ආච්චීගේ කාමරේ.. ඒකේ තියෙන්නේ එක ඇදකුයි කාඩ්බෝඩ් පෙට්ටියකුයි විතරයි..කාඩ් බෝඩ් පෙට්ටියේ තියෙන්නේ ආච්චීගේ සාරී , චීත්ත , හවරිය වගේ එව්වා...වහින දවස් වලට අපි ආච්චිලෑ දිහා ගියාම ආච්චී ඇදේ මෙට්ටේ බිමට දාලා මටයි සූටි මල්ලිටයි නිදා ගන්න හදලා දෙනවා... මෙට්ටේ නිදා ගත්තට කකුළ් දෙක එළියේ සීතල පොළවේ.. අපි වකුටු වෙලා නිදා ගන්නේ ඒ නිසා..
ආච්චී දන්නවා හොද කතා එහෙම..ගොරවන සද්දෙට බයේ ඉන්න අපි දෙන්නව ලඟට අරගෙන ආච්චී කතා කියලා දෙනවා... මම ආස අගුරුමතීගේ කතාවට..අගුරුමතීව අන්තිමට කුමාරයා එක්කන් යනවා.. ආච්චී කතා කියකියාම නිදා ගන්නවා...සූටි මල්ලි නම් කතා එකක් කියනකොට නිදි.. මම එහෙම නෙමෙයි.. මම වැස්ස වහින වෙලාවට ඇහැරගෙන ඉන්න ආසාවයි.. එක පාර ලොකු එලියක් ඇවිත් ඊට ටිකකට පස්සේ එන මහ සද්දේ අහගෙන ඉන්න කැමතියි...කට්ට කළුවරේ ඇස් ඇරගෙන අම්මා සුරංගනාවියක් වෙලා ඒවි කියලා බලන් ඉන්න ආසයි...
සීයා මැරුණම වැලලුවේ අම්මා වලදාපු තැනමයි.. අපි හැමෝම ඇඬුවා..මම ඇඬුවේ ඇයි කියලා මම දන්නේ නෑ... මැරුණට පස්සේ එහෙම අඬන්න ඔනි නැත්නම් පව් සිද්ද වෙනවා කියලා දවසක් ආච්චී කිව්වා මට මතකයි.. මම ඒ නිසා වෙන්නෑ ඇඬුවේ..
මහ කන්ද නාය යන දවසෙත් හොදටෝම වැස්සා මට මතකයි.. ලොක්කම්මා මගේ ඔළුවට තැඹිලි තෙල් අහුරක් දාපු නිසා ඔළුවේ හිටිය උකුණෝ ඔළුව හයියෙන් හපා කන්න පටන් අරගෙන නලියන්න ඔළුව කසකසා හිටියේ මම නින්දක් නැතිව... ආච්චී ගොරවන සද්දේ සූටි මල්ලි හුස්ම ගන්න සද්දේ මහ වැස්සේ සද්දෙන් පෙරලා අදුන ගන්න මට ඇහැකී නෙව... මම දොට්ට යන්න කියලා ආච්චීගේ හිල් කුඩේ ඉහළගෙන හීන් බෝවිටියා පඳුර අස්සට ගියා.. කූඩැලි විමානේ තමා.. එහෙමයි කියලා හිර කරන් ඉන්නෑ... අනේ එතකොටම තමා ඇහුණේ මහ අමුතු විසාල සද්දයක්... කට්ට කළුවරේ මට ඇහුණේ සද්දයක් විතරයි...මම බයට බෝවිටියා පඳුර ලඟම මහ වැස්සේ ගල් ගැහිලා හිටියා මතකයි...
උදේ වෙනකොට ආච්චිලෑ දිහාවක් හොයා ගන්න තිබ්බේ නෑ... බොර පාට කඳුළු පුරෝ ගත්ත මිනිස්සු බොර පාට මඬ කන්ද දිහා බලන් හූල්ලනවා.. මම ආච්චී ට කතා කලා.. ලොක්කම්මාට කතා කලා.. සූටි මල්ලිට කතා කලා..ඒ කවුරුත් පේන්න හිටියේ නෑ... ලොක්කම්මාගේ ලස්සන රෝස පැළ ,දෑවැද්දට ගෙනියන්න හිටපු අල්මාරිය පේන්න තිබ්බත් නෑ.. අම්මාගේ සියාගේ සොහොන් පේන්න තිබ්බෙත් නෑ... මම දැක්කේ හැමතැනම මඬ විතරයි.. මගේ තෙත ගවුම ඇඟටම ඇලවිලා ඇඟට හීතල අල්ලලා තිබ්බේ.. මාව සටපට ගාලා ගැහෙන්න ගත්තා.... අපි හැමදාම කන්ද පහළට පල්ලම් බැහැලා ගියාට, කන්ද පල්ලම් බැහැලා ආච්චිලෑ දිහා හිටපු මිනිස්සු වලදාගෙන යයි කියලා අපි හිතුවේ නෑ නෙව...
සිරිපාල ඉස්කෝලේ මහත්තයා පවුලේ කාගෙවත් මිනී හොයා ගන්න බැරි වුනා කියලා කිව්වා මට හීනෙන් වගේ මතකයි...සූටි මල්ලි ලඟ තියන් හිටපු සෝමසිරි බෝණික්කාව නම් හම්බුනා..එයා මඬ පෙරාගෙන හිනා වෙලා හිටියා...මම සෝමසිරි බෝණික්කා එක්ක තනියම හිටියේ... මම ඇඬුවා.. එදා ඉදන් ජීවිතයත් නාය ගියා...ඒත් පස් අස්සෙන් හුස්ම ගන්න මට ඉගෙන ගන්න පුළුවන් වුනා..
ඒ සෝමසිරි බෝණික්කාගේ තමයි දූ ඔයා මේ ඇහැක් ගලවලා දාලා තියෙන්නේ.. මට දුක ඒකයි... මට අතීතෙ එක්ක තියෙන එකම බැදීම ඔයා කණෙක් කරපු එක ගැන...රිදුනද මම ගහපු පාර.. කෝ බලන්න එතන.. හාච්චියක් දෙන්නම් එතනට.. රිදෙන එක අඩු වෙන්න..
අගුරුමතීගේ කතාව කියලා දෙන්න මට ආච්චී කෙනෙක් නැති වුනා දූ..ඒක ඔයාට ඔයාගේ අම්මා කියන සින්ඩරෙල්ලා කතාව වගේමයි... නම විතරයි වෙනස්...ඔයාට තියෙන්නේ ලොක්කම්මාගේ ඇස්.. ඔයා ගාවත් පිච්ච සුවඳයි..
ආ මේ බෝණික්කාව ගන්න.. සෝමසිරි බෝණික්කන්ගේ අත පය දිග මක්කැයි දන්නවද.. ඒ එයාලට එයාලෑ ලඟ ඉන්න ඈයන්ව පුළුවන් තරම් ලඟට කරගන්න ඔනි නිසා.. මයේ මිණිබිරී පොඩ්ඩ මෙයාගේ ඇහැ හොයන් එන්න.. මම මේක මහලම ඔයාට දෙන්නම්.. හා ද..
+++++++++++++++++
ReplyDeleteකිසිම දෙයක් කියාගන්න බෑ.. අපුරූ කතාවක් අමා
ReplyDelete+++++++++++
ReplyDelete
ReplyDeleteComment
This comment has been removed by the author.
ReplyDeleteOyaage katandara, kawi harima lassanai
ReplyDeleteGood job💞💞💞💞