පළමු වැරැද්දට පස්සේ.....











හැම තැනම තණකොළ.රට තණකොළ.එයා කිව්වේ රට නිසා ගෑවුනත් මාර සනීපයි කියලා.අපි වත්තේ ඔක්කොම ගස් උගුල්ලලා අලුතින් රට තණකොළ වවන්න පටන් අරගත්තා.අපේ ගෙදර පොඩි වුනාට තට්ටු දෙකක් තියෙනවා.උඩම තට්ටුව අලුත බැඳපු තලගොයි කපල් එහෙකට රෙන්ට් අවුට් කරලා තියෙන්නේ.අපිට හිරිහැරයක් නෑ.මාසේ අන්තිමට සල්ලි ගන්න ගියාම තමා ටිකක් කරදර.ඒත් එයා දන්නවා කරදර අඩුවෙන් සල්ලි ටික අරගන්න.එයා ඉස්සර ගියේ කොලනිය කොළබ බස් එකේ වැඩට.පස්සේ ටයි දාගෙන බස් එකේ යන්න බෑමය කිව්වා නිසා ලීස් කරලා මරුටියක් අරගත්තා.එයා 5”7 යි කෙසඟයි.ලහිපිටේ පරණ බඩු විකුණන කොටසත් එක්ක එන මංගල දැන්වීම් වල පිහිටෙන් තමා අම්මා එයාව හොයාගෙන තිබ්බේ.සුරාවෙන් තොර වුනාට එයා බියර් බොනවා.ඉඳලා හිටලා ලඟින් ලා අරක්කු ගඳක් එනවා.මම බිව්වද?” කියලා ඇහුවම පිස්සුද?” කියලා මගෙන් අහන නිසා දැන් මම ඔව්වා අහන එක නවත්තලා දාලා තිබ්බේ.කරදරයක් නැහැ නේ.ගහන්න බනින්න එනවා කියලද ඉතින්.එයා පියසුමන.


පියසුමන මගේ රෝස ගස් ටික උදැල්ලෙන් හාරනකොට මම මෝල් ගහ අරගෙන වත්තට ගිය හැටි මතක් වෙනවා. මට හරි ලැජ්ජයි අනේ.එයා මං දිහා බලාගෙන හිටියේ ඇස දෙක නළලට අරගෙන.පස්සේ එයා කිව්වා රෝස වලට වඩා රට තණකොළ වවන එක තමා දැන් ට්‍රෙන්ඩ් එක කියලා.මම වැඩිය ඔව්වා දන්නේ නැහැ ඇත්තටම.මම උගුල්ලපු රෝස ගස් ටික කුස්සිය පැත්තෙන් ආයිමත් හිටවගත්තා.මම පස්සේ මෝල් ගහ අරගෙන කුස්සියට යන කොට තමා දැක්කේ තලගොයි කපල් එක දිව දාගෙන මං දිහා බලන් ඉන්නවා..


එයා දිගටම දිගටම තණකොළ වවාගෙන වවාගෙන ගියා.මම වවපු හැම මල් ගහක්ම වගේ උගුල්ලලා දාලා තිබ්බේ ඒ වෙනකොට.තලගොයි කපල් එක එයාගෙන් මාසිකව ගෙවන්න රට තණකොළ ඉල්ල ගත්තා.එයාලා අලුතින් ගත්ත ඉඩමේ වවන්න කියලා.අපේ ඔෆිස් එකේ කට්ටිය කොහොමත් මහා එක විදිහක කට්ටියක්.එක් කෙනෙක් හුරතලේට ඇතිකරපු කැරපොත්තෝ දෙන්නා පස්සේ දහ අටේ ගුණාකාර වලට වැඩි වෙන්න පටන් අරගෙන නිසා ඔෆිස් එකෙන් ණයක් අරගෙන තිබ්බා මෝටින් ගහන්න.අපි ඔෆිස් කලෙක්ෂන් එකක් දැම්මා එයාට මදි පාඩුවට කියලා.

මේ දේවල් කතාව නෙමෙයි.පසුබිම් වාදනය වගේ කෑල්ල.ඇත්තම කතාව මෙතන කියන්න තරම් කතාවක් නෑ.තණකොළ (හරි රට එව්වා කියමුකෝ) වවන මනුස්සයෙක් එක්ක මට ඉස්සරහක් දකින්න අමාරුයි තමා.එයා තණකොළ ඇඳටත් අරගෙන ආවා.පස්සේ මට ජිවිතේ එපා වෙලා ආතතිය වගේ ආවා.මට කොන්ඩේ පීරන එක වුනත් එපා වෙලා ගිහින් තිබ්බේ.තණකොළ වැවෙනවා වැවෙනවා දැන් හොඳටම සාරෙට.දැන් අපේ එක තට්ටුවක් සම්පූර්ණයෙන්ම වැහිලා ගිහින්.තලගොයි කපල් එකම සුළු දිය දැන් පහ කරන්නේ බැල්කනියට ඇවිත්.අපිට පෙන්නේ නැහැ නේ. තණකොළ නිසා ඔක්කොම වැහිලා ගිහින්.පියසුමනටත් මාව එපා වෙලා ගිහින් තිබ්බේ.ඒකට හේතු දෙකක් තිබ්බා.මම තණකොළ නොකෑම සහ මම රට නොවී දේශීය වීම.එයා ඒ නිසා ඕස්ට්‍රේලියන් කෙප්ප වැස්සියෝ බලන්න යන විත්තිය මට ආරංචි වුනත්,නැහැ මට තරහ ගියේ නැහැ නෙමෙයි.තරහා ආවා.ඒත් එයා ආවෙ ඉඳලා හිටලා.අලුතින් ඉඩමක එයා තණකොළ වවන්න පටන්ගෙන තිබ්බේ.මට ඔෆිස් එකේ දෙතුන් දෙනෙක්ම ඇවිත් ඕක කිව්වම මම හිනා වෙලා නිකන් හිටියා.රූපා අපේ ඔෆීස් එකේ හිටපු පවුල් උපදේශිකාව.ලන්ච් අවර් එකේදී යට සායට අල්ලන්න ඕනි රෙන්දේ පාට පවා එයා අපිට කියලා දෙනවා.දාලා ගිය මිනිහා ගෙන්න ගන්න,දාලා ගිය මිනිහාගේ කකුලක් අතක් පයක් කඩලා දාන්න වගේ එව්වාට නීච කුල ගුරුකම් කරන්න හොඳ ඔඩ්ඩි ඉන්න තැන් ගැනත් එයා විස්තර දන්නවා.එයා මට උපදෙස් දුන්නා මනුස්සයාගේ කකුලක් කඩලා ගෙදර තියාගන්න විදිහක් ගැන.මම හාකියලා නිකන් හිටියා.යක්ස ගෑනි!!


මම හැමදාම බස් එකේ ඔෆිස් ගියා.උදේට කිබුලා බනිස් කෑවා.රෑට රෝස්පාන් කෑවා.ඉඳලා හිටලා මයිලෝ , මෝල්ටඩ් මිලක් බිව්වා.කුසුම්සිරි ගියෙත් අපේ බස් එකේමයි.කොණ්ඩෙට ජෙල් නෙමෙයි එයා සුදේශීය පොල්තෙල් තමා ගෑවේ.ඇඳුම් සැවැන්දරා සුවඳයි.මුලින්ම එයා හිනා වුනා. පස්සේ හායිකිව්වා.පස්සේ එක සීට එකේ ඉඳගෙන ආවා.අපි යාලු වුනා.එයා හින්දි සිංදු කියනවා කියනවා රේඩියෝ එකක් වගේ.එයා නොවරදවාම සති අන්තෙට ශිවන්යා ඉන්න නයි නාට්ටිය බලලා මගෙන් අහනවා ශිවන්යාගේ ප්‍රශ්න වලට උත්තර.මම නයි කතා බලන්න ආස නෑ කිව්වට එයා අහන්නේ නැහැ.මම එයා කිව්වට ඔව්වා බලන්නෙත් නැහැ.


එයා තණකොළ වලට කැමැත්තක් නැහැ.එයා ආස මී බෙටි වලට.අපි බෙටි කිව්වට එයා කියන්නේ මී රත්තරන් කියල.එයා මුලින්ම එක මීයෙක් දරුකමට හදාගත්තා.වඩා වැඩි මී බෙටි (සොරි රත්තරන්)ගන්න තව මීයෙක් ගෙනාවා.පස්සේ එක දෙක වෙලා දෙක තුන වුනා.දවසක් මගේ හොඳම සාරියකටයි ගෙදර ඔප්පු ටිකටයි මි හැත්ත වැඩේ දීලා තිබ්බා.කුසුම්සිරි නම් ගියේ කොසු මිටකින් ගුටි කාලා.මට මීයෝ ඇලජික්.අනික මහමාරියාව කියන්නේ කොච්චර බයානක නමක් තියෙන ලෙඩක්ද.(මහාමරියාව මියන්ගෙන්ද හැදෙන්නේ?)අනික උන් නාන්නෙත් නැහැ.පස්සේ කුසුම්සිරි රූපා එක්ක යාලු වෙලා තිබ්බා.රූපා මීයෝ ෆාර්ම් එකක් දාන්න වුනත් කැමතියිලු.

තලගොයි කපල් එක තාම උඩ තට්ටුවේ ඉන්නවා.මම යට තට්ටුවේ.තලගොයි කෙල්ල නම් කියන්නේ නිකන් ඉන්න එකේ මහාවංශේ කතාවක් අල්ලන් නාට්ටියක් ගහමු කියලා.නැත්නම් පරණ ෆිල්ම් එකක් රීමේක කරමු කියලා.මට මහන්සියි.පිරිමින්ගේ ආසාවල් රවුම් වගේම පැතලි.රොටි වගේ.හැබැයි ඉවරයක් නැහැ.මුලින් තණකොළ පස්සේ වැස්සියෙක්,ඊටත් පස්සේ පැටියෙක් ,ඊටත් පස්සේ තණකොළ බ්‍රෙන්ඩර් කරන්න බ්‍රෙන්ඩර් එකක්.මී බෙට්ටකින් පටන් අරගෙන වුනත් එයාලගේ ආසාවල් නිකන් බඩවැල වගේ දිගට දිගට ඇදෙනවා.ඉවරයක් නැහැ කරකැවෙන එක විතරයි.



හරි මම කතාවක් කියන්න පටන් ගන්නම්.මේ ඔක්කොම පටන් ගත්තේ එක දවසක.දෙවියන් වහන්සේ ලෝකයට මුලින්ම පිරිමියෙක් මැවීමෙන් පළමු වැරැද්ද කරගත්තට පස්සේ.
Top of Form

Comments

Post a Comment

Popular Posts