ප්‍රේමයේ වර්ග ____________2











අලබෝලය පුළුන් බෝලයක් වගේ පා වෙලා ගහගෙන ගිහින් පිළුණු වුනා.ඒ වෙනකොට මගේ වටේට භ්‍රමණය වෙමින් තිබ්බේ ප්‍රේම තොරොම්බල් කරත්ත.ඒ දවස් කියන්නේ මොළේ අඩුවෙන් පපුව ටිකක් වැඩියෙන් වැඩ කරපු කාලේ.මගේ වයසේ ගෑනු ළමයි හැමෝම වගේ සමාධි  පත්තරේ කියවලා පිස්සු හැදිලා හිටියේ.(සමාධි  කියන්නේ මේ  භාවනාව කරන හැටි උගන්වන එකක් නෙමෙයි.ඒක මේ නවකතා කෑලි කෑලි පලවෙන පත්තරයක්)  ඒකෙ ජනප්‍රියම කතාව තමා ‘එක දා වැහි’. එක කියවපු මම වගේ මෝඩ පහේ කෙල්ලෝ බලාගෙන හිටියේ ආත්ම හතක තිස්සේ පස්සෙන් එන කොල්ලෙක් ඇවිත් අපිත් එක්ක යාලු වෙනකන්.ඔය කාලේදී තමා යකඩ අස්පයෙක් පිටේ නැගපු කොන්ඩකාරයා ආවේ. මාත් එක්ක කුකරි පන්ති ගියපු කෙල්ලෝ එයා එනකොට  “කොන්ඩ කිරිල්ලියේ කවුද උඹේ ප්‍රේමවන්තයා” කියලා විහිළු කරනවා. එතකොට මම ‘යහපත් ගෑනු ළමයා’ චරිතෙන් අපගමනය වෙන්න පටන් අරගෙන තිබ්බේ.පලවෙනි දවසේ එයා මට පැරිස් සෙන්ට් කුප්පියක් තෑගී දුන්නා.දෙවැනි  දවසේ එයා මගෙන්  “නංගි ඔයා මට කැමතිද” ඇහුවේ  එකදා වැහි කතාවේ දුෂ්මන්ත වගේමයි.මමත් කතාවේ කටපාඩම් කෑල්ලක් කියලා දැම්මා. “මට හරි භයයි අයියා.ආදරේ කොහොම දෙයක්ද කියලා මට තේරෙන්නේ නෑ” කියලා අංශක තුන්සිය  හැටට කැරකිලා කොන්ඩ කරලක් විකලා හිනා වුනා.


ඒ දවස් වල කාලේ ගියේ අස්ස ගුඩුන් ගුඩුන් කියකියා.එයාව හැමදාම හවසට හම්බෙන්න මම බස් හෝල්ට් එකට වෙලා බලන් හිටියා.එයාගේ මෝටර් අස්පයාගේ ඇඟේ නැගලා බෘම් බෘම් ගාගෙන බීච් ගියා.කැලිඩෝ බීච් එක ලඟම ගඟ.මමයි එයයි මුලින් කලේ මුහුදු රැල්ල පාගලා ගඟෙන් ඇවිත් කකුල් දෙක සේදුව එක.පස්සේ එයාට කතා කරන්න වැටකෙයියා පඳුරු අස්සට යන්න ඕනි වුනා.ඊටත් පස්සේ කතා කරන්න දේවල් නැති වෙනකොට එයාගේ අතපය මගේ පපුව පැත්තට කාන්දම් වගේ ඇදෙන්න ගත්තා.මුලින්ම මාව ගෙම්බෙක් වගේ ඉම්බෙත් එයා.මම ලජ්ජාවෙන් වගේ කැමති වුනත් එක දවසක් එයාගේ අත සාය යටින් ගෙනියන්න හදනකොට නම් එයාගේ කම්මුලට ගහලා බස් එකේ නැගලා මම ගෙදර ආවා.ඒ දවස් වල ‘එක දෑ වැහි’ කතාවෙත් ගෑනු ළමයාට පිරිමි ළමයා අතින් වැරදිලා බබෙක් ලැබෙන්න වැඩ සිද්ද වෙලා තිබ්බේ.මට ඉතින් අවදානමක් ගන්නත් බෑ නෙහැ.මුලින්ම අත තමා.ඊට පස්සේ වෙන මොනා මොනා වෙයිද කවුද දන්නේ.එදායින් පස්සේ එයා ආයිමත් ආවෙ නැහැ.බාගදා එයාට ලජ්ජා හිතෙන්න ඇති.නැත්නම් මම එයා ගැන යාලුවන්ට කියාවි කියලා හිතෙන්න ඇති.කොහොම හරි මේ සිද්දිය අමතක වෙලා යන්න පුළුවන් තරම් ප්‍රභල සිද්දියක් මේ දවස් වල සිද්ද වුනා. මට බෝට්ටුවක් ආවා කැම්පස් යන්න.ඉතින් කොණ්ඩකුරුල්ලා ගැන විරහවෙන් ඉන්නවත් තරහවෙන් ඉන්නවත් මට කාලයක් තිබුනේ නැහැ.

හොඳයි මේ ප්‍රේම වර්ගය කොහොම නම් කළාමද කියන්න ලකයක් එන්නේ. “කොන්ඩ කුරුළු ප්‍රේමය” කියන එක නම් කොහොමත් හරියන එකක් නෙමෙයි. එක ඉදිරියට හොඳ නෑ. ඒ දවස් වල ඔලුව තෝන්තුවෙන් කියවපු කතාවේ නම නම් හොඳයි වගේ නේද. “එක දා වැහි ප්‍රේමය” තමා මරුම නම. එක දවසයි දෙකයි වැස්සේ. ආයිමත් හොයා ගන්නවත් නැති වෙලා යනවා.හොඳ වෙලාවට මම තෙමුණේ නැත්තේ.

මම කැම්පස් එකට මුලින්ම පය ගැහුවේ වසන්ත කාලේදී.ගොඩක් ගස් එයාලගේ පරණ කොළ අතහැරලා අලුත් කොළ වල කොළ පාට තීන්ත ඉහිරුවන කාලේ. අපේ කැම්පස් එකේ  පෝලිමට හිටවලා තිබ්බ රොබරෝසියා ගස් වල සකුරා මල් වාරේ වගේ මල් පිපිලා. මම රොබරෝසියා මල් වලින් වැහිච්ච පාර දිගේ ඉයර් ෆෝන් ඇබ දෙක කන් වල ගහගෙන “ආකාසයේ  දුර ගිම්හාන ඉවුරේ” සිංදුව අහගෙන එනවා.එහෙම එන දවසක තමා  උස, කොන්ඩේ පැත්තට පිරපු අමිතා බච්චන්ගේ පුතා වගේ සීනියර් අයියෙක් ඇවිත් මගේ අතින් අල්ලගෙන කැම්පස් එක වටේම එක්කන් ගියේ.මම කලින් දැනගෙන හිටිය තැන් වුනත් එයා එක්ක ගිහින් මට “නංගා දන්නවද මේ තමා සරස්වතී ශාලාව. අසූ ගණන් වල මෙහෙ ගෑනු ළමයෙක් ජනේලෙන් පහලට පැනලා මැරිලා තියෙනවා කියලා කතාවක් තියෙනවා.මේ බලන්න මේ බිත්ති.මේ බිත්ති හුස්ම ගන්නවා. කෝ දෙන්න ඔයාගේ අත.මේ බලන්න බිත්ති වල හීතල.” කියලා මම දන්න විස්තරම කියන කොට මම මුකුත් දන්නේ නැති තාලෙට ඇස දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්නවා.එයා සිනියර් බැජ් එකේ නිසා එයා එක්ක යාලු වීමේ අමතර වාසි ගොඩක් තිබ්බා.ප්‍රධානම වාසිය අනිත් ඇඹල ජනයාගෙන් නිකන්ම ආරක්ෂාව ලැබෙන එක.මම එයාට ඇත්තටම ආදරේ කළා. “ප්‍රේමය කිමැයි” කියන එකට උත්තර හොයහොයා හිටපු මට එක තනි උත්තරේකට උත්තර දහයක් විතර හොයලා ගෙනත් දුන්නේ එයා.මම ආයිමත් ලියන්න පටන් ගත්තා.මම ගැන.අපි ගැන වගේම පන්ති අරගලයෙන් හෙම්බත් වෙච්ච මනුස්ස ආත්ම ගැන.එයා මම වගේම කියවන ලියන කෙනෙක් වෙච්ච නිසා අපිට අපි ගැනම කියවීමක් තිබ්බා.මට මතකයි එයා මට ඉස්සර ලියලා එවන කවි මම වෙනම පොතක අලවලා තියාගෙන හිටියා.අපි සතුටින් හිටියේ.අපි මැද්දෙන ,ඇත්තටම මගේ ඇතුලේ තව කෙනෙක් හුස්ම ගන්න පටන් ගන්නකන්ම.එයා බොහොම සාමාන්‍ය පිරිමි ළමයෙක්.අනිත් අය වගේම මේක දැනගත්තාම කලබල වුනා.මේ දෙයින් එයාට නිදහස දෙන්න කියලා මගෙන් දාස් වතාවකට වඩා ඉල්ලුවා.ඒ වෙසක් වලට සතියකට කලින් දවසක්.මමයි එයයි කැම්පස් එකේ තිබ්බ බණක් අහලා පිටකොටුවේ පැත්තේ එයා දන්න තැනකට ගිහින් එයාව කරදරයට පත් කරන පෙකිණිය කපලා දැම්මා.පොතේ හැටියට නම් මම දුක් වෙන්න ඕනි.ඒත් මට දුකක් දැනුනේ නෑ.සමහර වෙලාවට දුක එන්නේ දුක විදිහටම නෙමෙයි.ඒක කලකිරීම වගේ වෙනස් රූපයකින් ඇවිත් කරදර කරන්න පුළුවන්.අවුරුදු හතර ඉවර වෙලා එයා කැම්පස් එකෙන් එලියට ගියාට පස්සේ ආයිමත් මම රොබරෝසියා මල් වැටෙන පාරේ මැද්දෙන් තනි වුනා. සමහර දවස් වලට මට හීල්ලුනා වුනත් ආයිමත් එයාව හොයාගෙන ගිහින් එයා ලඟට යන්න උවමනාවක් ආවෙ නැහැ.අපි වචනයක්වත් කතා නොකරම පාරවල් දෙකක් තොර ගත්තා.මගේ ෆයිනල් එක්සෑම් එකේ ලකුණු හොඳ නිසා මට එංගලන්තේ වැඩිදුරට ඉගෙන ගන්න යන්න ශිෂ්‍යත්වයක් ලැබුනා.

මේ ප්‍රේම වර්ගයට නමක් දෙන එක පරණ තුවාලයකට අල්පෙනෙත්තකින් ඇනලා ආයිමත් තුවාල කරනවා වගේ.එත් මම හිතන්නේ මේ ප්‍රේම වර්ගයට දෙන්න ඕනි හොඳම නම “රොබරෝසියා ප්‍රේමය”. කාලයකට විතරක් ලස්සනක් ගේන.පස්සේ  මතක විතරක් ඉතිරි කරලා බොඳවෙලා යන.

මම එංගලන්තේට යනකොට එහෙට හිම වැටෙනවා.හැමතැනම සුදු පාටයි.නුහුරු කාලගුණය , නුහුරු මිනිස්සු ගොඩක් මැද්දේ දුඹුරු පාට මට දැනුනේ තනි වෙලා කියලා. තනිය මකාගන්න මම දන්න හොඳම දේ වුනේ ‘ලයිබ්‍රි  සරණං ගච්චාමි’ තමා.ඒ පුස්තකාලේ ලොකු පොත් අස්සේ කණ්නාඩි  දාන සුද්දෙක් හිටියා හරිම මිත්‍රශීලි.එයා ඉගෙන ගත්තේ ඉංග්‍රීසි සාහිත්‍ය.මම ලියනවා කිව්වම එයා කිව්වා එයාටත් ලියපුවා කියවන්න දෙන්න කියලා.ඒත් මම ලිව්වේ සිංහලෙන්. මම ඉංග්‍රීසියෙන් මුලින්ම කවියක් ලිව්වේ එයාට.එයා ඒකේ වචනෙන් වචනේ අරගෙන මම කවදාවත්ම හිතපු නැති ලස්සන තේරුමක් කියලා දුන්නා.පස්සේ අපි එහෙ තියෙන හැම කෝපි බොන තැනකටම වගේ ගිහින් කෝපි බොන ගමන් කතා කළා.එක දවසක් එයා මගෙන් බොහොම බර ඉංග්‍රීසියෙන් ඇහුවා එයා ජිවත් වෙන තැනට ඇවිත් එකට ජිවත් එන්න කැමතිද කියලා.ඇත්තටම මම එයාට ආදරෙන් හිටියේ.පරණ වණ වලට තියෙන හොඳම බෙහෙත මේක කියලා මට දැනුනා.මම “හා” කිව්වා.මම උයන දවස් වලට එයා තමා පිඟන් සොදන්නේ.එයාට ලෙක්චර්ස් තියෙන දවස් වලට මම ගේ අස්පස් කරනවා. මට ලෙක්චර්ස් තියෙනකොට එයා එනවා මාව එක්කගෙන යන්න.මම බොහොම සතුටින් වගේම සැහැල්ලුවෙන් හිටපු කාලයක් ඒක.සාමන්‍යයෙන් සතුට වගේ දේවල් ඉක්මනට කල් ඉකුත් වෙනවා.එයත් ඉන්දියන් ගෑනු ළමයෙක් එක්ක තව පටලැවිල්ලක් තියෙන විත්තිය මට අතටම අහුවුනාට පස්සේ මමම ඇඳුම් ටික අරගෙන ආයිමත් පරණ තනි ජීවිතේටම ගියා. එයා ඇවිත් සමාව අරගෙන මාව එක්කන් යන්න ආවත් මට ආයිමත් යන්න ඕනි කමක් තිබ්බේ නෑ.මගේ හිත බිඳිලා ගියා. පොඩි පොඩි කෑලි වලට.මම තනියම ඉන්න දවස් වල තව පිරිමි ළමයෙක් හුළඟ වගේ ඇවිත් ආයිමත් ආපු දිහාවටම ගහගෙන ගියා.පිරිමි කියන්නේ වතුර වගේ ජාතියක් කියලා කිව්වේ මාත් එක්කම හිටපු හෙලේනා. එක තැනක රැදෙන්න කැමති නැහැ.ස්වභාවය ගලායාම.ඒ වගේම ඕනිම වෙලාවක අදාළ අදාළ විදිහට ස්වරුපය වෙනස් කරගන්නවා.ඒක තමා ස්වභාවය.


මේ ප්‍රේමයට තියෙන්න ඕනි සීතල නමක්.මොකද එංගලන්තයේදී මට දැනිච්ච එකම මතක හිටින දැනීම වුනේ හීතල. “ශිත ප්‍රේමය” තමා නම වෙන්න ඕනි.හීතලට ලං වෙලා දේවල් බෙදා ගත්තට ග්‍රීස්මය ලං වෙනකොට ඈත වෙලා යනවා.ළඟ තියා ගන්නවා කියලා හිතුවට ශිත වගේ දැනීමක් ළඟ තියාගෙන හැඩ බලන්න කවදාවත්ම බෑ.

මම ආයිමත් ලංකාවට ආව ගමන් රස්සාවක් හොයා ගත්තා.මට වැඩ කරන්න හම්බවුනේ හත්වෙනි තට්ටුවේ හත්වෙනි කැබින් එකේ.මගේ කැබින් එකට එහා පැත්තේ හිටියේ මැදි වයස ගෙවීගෙන යන මහත්තයෙක්.බොහොම නිශ්ශබ්ද  වගේ කාරුණික ඇස් දෙකක් එයාට තිබ්බේ.මම වුනත් වෙහෙසින් හිටියේ.මේ වෙනකොට මට තිබ්බේ හැමතැනම පැලැස්තර ගහපු හදවතක්.ඉතින් ඒ මහත්තයා හැමදාම කන්නේ කඩෙන් වග දැනගෙන මම එයාටත් එක්ක උදේට බත් බැඳගෙන ආවා.එයා මුකුත් කිව්වේ නැහැ.හිනා වුනා විතරයි.පස්සේ මගේ ගෑනු ගති ගුණ උඩට ආපු වෙලාවක මම එයාගෙන් ඇහුවා “ඔයා බැඳලද” කියලා.එයා නැහැ කියන්න වගේ ඔලුව හොලවලා හිනා වුනා.මම එයාට බලෙන්ම වගේ පොත් තෑගී දුන්නා.එයා මට ලජ්ජාවෙන් වගේ දවසක්  ලස්සන සාරියක් තෑගී කළා.මේ සම්බන්ධයේදී හැමදෙයකටම මුල් වෙන්න වුනේ මට.මම දවසක් එයාව එක්කගෙන ගියා ගෝල්ෆේස්.එයා මට ඉස්සෝ වඩේ අරන් දුන්නා.ඉතින් මම එයාගේ උරහිසට ඔලුව තියාගෙන මුහුද දිහා බලාගෙන ඇහුවා “මේ ඇහුනද , මම ඔයාට ආදරෙයි.ඔයා මට ආදරේද” කියලා.එයා “හ්ම්ම්” කියලා මගේ ඔලුවට බර වුනා.

මමයි එයාව ඇදගෙන හැමතැනම ගියේ.මමම  ගෝල්ෆේස් හොටෙල් එකේ අපි දෙන්නට නිදහසේ ඉන්න කාමරයක් බුක් කළා.ටිකක් ලොකු ගානක් ගියාට කසාද බඳින්න ඉන්න මනුස්සයා නේද කියලා ගාන ගැන මම වැඩිය හිතන්න ගියේ නැහැ.එයා මාත් එක්ක රූම් එකට වෙලා රෑ කෑම අර ගත්තා.පස්සේ එයා විස්කි ඕඩර් කළා.විස්කි වලට පුළුවන් වුනා එයාගේ කටහඬට පණක් දෙන්න.එයාට කසාද බැඳලා ඩිවෝස් වෙච්ච විත්තියයි, එයාට පොඩි දුවෙක් ඉන්න විත්තියයි මට කිව්වේ ඒ වෙලාවේ.මට තරහ ආවා.ආදරේ කරලා කසාද බඳින්න ඔන්න මෙන්න වෙනකන්ම මේ දේවල් හංගගෙන හිටියේ කපටිකමට තමා.මම එයාට වෙරි  බැස්සම බැනලා එයාව දාලා යන්න ගියා.එයා මාව හොයාගෙන ආවා කරුණු පැහැදිලි කරලා දෙන්න.මම එහෙම කරුණු අහන ජාතියේ ගෑනියෙක් නෙමෙයි.මට ඕනි විස්වාසය කැඩිලා ගියාට පස්සේ මට කොච්චර කරුණු කිව්වත් වැඩක් නෑ.පස්සේ එයාටත් තරහ ගිහින් මට බැනලා යන්න ගියා.

එයා තමයි අන්තිමටම දොර කඩාගෙන ගියපු යකා.මේ ප්‍රේමයට නමක් දෙන්න වෙන්නේ තාමත් හිතේ තියෙන තරහව , දුක , කලකිරීම වගේ හැඟීම් එක්ක යුද්ධයක් කලාට පස්සේ. ඒ නිසා මේ ප්‍රේමයට මම නමක් නොදී දැනට අත්හරිනවා.පස්සේ තරහා නිවුනාම නමක් දෙන්න ඕනි වුනොත් දෙනවා.

මට හිතුනා කාලෙකින් කතා නොකරපු හෙලේනට කෝල් එකක් ගන්න ඕනි කියලා.දැන් එයාලට හවස.මේ වෙලාවට එයා බබත් අරගෙන පාර්ක් එකේ ඇත්තේ.මම ලැප් එක ඕන කරලා බැලුවම දැක්කා එයා මුහුණු පොතේ ඔන්ලයින් ඉන්නවා.මම එයාට කෝල් එකක් එකෙන්ම ගත්තා.

හෙලේනා මං වගේ නෙමෙයි. එයාට මුල මැද අග හොඳට පේනවා.මම එයාට මේ විස්තරේ කිව්වාම එයා මට කිව්වේ මෙන්න මෙච්චරයි.

“මෙහෙමයි කෙල්ලේ.උඹ හොයන ජාතියේ සර්වසම්පුර්ණ සර්වබලධාරී කොල්ලෝ නම් මේ ලෝකේ නෑ.අඩුම ගානේ උඹට එහෙම දෙයියෙක්වත් හොයා ගන්න බෑ.උඹ දන්නවද ශිව ගැන.ශිව දෙවියෝ මෝහිනිට අතවර කලේ පාර්වතී ඉස්සරහමයි.දැන් බලහන් ක්‍රිෂ්ණ.කෝ ඉතින් ඔච්චර ලව් කරපු රාධව බැන්දද.වැඩිය ඕනි නෑ කතරගම දෙවියෝ බලපන්.දෙන්නෙක් ඉන්නවා නෙහ්.ඉතින් මගේ කෙල්ලේ, මම කියන්නේ කවුරුත්ම ආදරේදී සීයට සීයක්ම සර්වසම්පුර්ණ නැහැ.උඹ කියලා සම්පුර්ණද කියලා හිතලා බලපන්.වැදගත්ම දේ තමා එකිනෙකාව ඉවසීම කියන දේ.උඹ ආයිමත් හිතලා බලපන් පොඩ්ඩක්.මෙහෙම ගියොත් උඹට දෙයියෙක්වත් නැති වෙන සීන් එකක් වෙන්නේ”

මම ෆෝන් එක චාජරේට ගහලා “මට සමාවෙන්න.මම ඔයාට ආදරෙයි.අපි හෙට හම්බෙමුද?” කියලා මැසේජ් එකක් මගේ නිහඬ පෙම්වතාට යැව්වා.ඒ හැරෙන පරක්කුවට  ෆෝන් එක රිං වෙන්න පටන් ගත්තා.



Comments

  1. මේ ලියවිල්ල මාව ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ගිහින්, කොලයක් ඉස්සරහ ඉන්දවල... පෑනක් අතට දීල.. 'ලියපන්' කියනවා!

    ලියනවද නැද්ද?
    ලියනවද නැද්ද?
    ලියනවද නැද්ද?
    ලියනවද නැද්ද?
    ලියනවද නැද්ද?

    මම තංගුස් නුලේ බෙල්ල ගෑවෙන්නේ නැතුව තියාගන්න හදනවා...

    හවස් වෙනකොට මක් වෙලා තියෙයිද දන්නේ නැහැ.. දැනට නම් බෙල්ල උලුක් වෙලා

    Excellent writing

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ සෝ මච් ලිඛිතා ^_^
      මොනවාහරි ලියමු නේද

      Delete
  2. ලස්සන, ආකර්ෂණීය කථාවක්. ලියවීම ලස්සනයි. කථාවේ අන්තර්ගතය ආකර්ෂණීයයි. 10/10

    ReplyDelete
  3. සුපිරියි !!!!!!!!!!!!!!!!,!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  4. SUPERB
    Speechless 💞💞💞💞💞💞💞

    ReplyDelete

Post a Comment

Popular Posts