ප්‍රේමයේ වර්ග..1






යකා ගියේ දොරැ කඩාගෙනමයි. අම්මා එලොව යන්න කලින් අමල්බිසෝ දොර නාරින්කිව්වට කාලයත් එක්ක දොර වහගෙනම ඉන්න බැරි වෙලා යනවා.මේ දැන් ටිකට කලින් ගියේ පළවෙනිම යකා නෙමෙයි දොර බිඳගෙන.බාගදා බාගවෙලාවට අන්තිමයා වීමට විය හැකියාවක් තියෙනවා. දැක්කා නෙහ් විය හැකියාවකියලා මම කිව්වේ.වෙන්නත් නොවෙන්නත් පුළුවන්.දොර බිඳගෙන ගියාම සාමාන්‍යයෙන් වෙන්න ඕනි විදිහට මට දුක හිතෙමින් පවතිනවා.කඳුළු එන තරමට දුක තවම අවශ්‍ය ප්‍රමාණයට මෝරලා නැහැ.කඳුළු එන්න නම් මේ වෙලාවට කරන්න ඕනි හොඳම සහ එකම දේ ඉයර් ෆෝන් එක කන් වල ඔබාගෙන ශශිකාගේ සින්දුවක් අහන එක වුනත් ෆෝන් එකේ බැටරි මරණාසන්න වෙලා. හෙට වැඩට එන්න වෙන්නේ නැහැ.මම ටෙලිග්‍රෑම් එකක් ගහන්නම් දවල් වෙලාකියලා මැසේජ් එකක් ඔෆිස් එකේ හොඳම වගේ ඉන්න යාලුවට යැව්වා විතරයි ෆෝන් එක ඔෆ් වෙලා ගියා.මේ දැන් බාහිර ලෝකෙත් එක්ක මට තිබ්බ ප්‍රභලම බන්ධනය වෙච්ච ජංගමයාත් මැරිලා නිසා මට මං වෙනුවෙන් කාල හිදැසක් හදාගන්න හරිම පහසුයි.



මේසය උඩ තිබ්බ හාෆ්ශිට් උඩ හූනො බෙටි දාලා තිබ්බා.සමහර කොළ උඩ කහ පාට රවුම් රවුම් සලකුණු.උපන්දිනෙකට නංගි ගෙනත් දුන්න පෑනකුත් මේසේ ළඟ බිම වැටිලා තියලා අහුලා ගත්තා.වඩා පහසුම ඉරියව්ව තමා පුටුව උඩට කකුල් දෙකම අරගෙන වාඩි වෙන එක.ඊට පස්සේ මට කැමති නම් ඉස්සර බයෝ පීරියඩ් එකේදී වගේ හෙන ගොන් කවි ලියන්න පුළුවන්.එහෙමත් නැත්නම් පුරුසයෙකුයි ස්තිරියකුයි ඇඳලා එයාලා වටේට ගෙයක් , ගහක් ,දරුවෙක් ,දේවාලයක්,දෙවියෙක් කැමතිම නම් විතරක් වැසිකිලියක් වගේ අඳින්නත් පුළුවන්.මම වඩාම පහසු දේ තෝරාගත්තා.ලියන එක.මොනා හරි වඳුරු කුනුහරුපයක් ලියන එක.ඒක මගේ පැත්තෙන් පහසුයි වගේම මගේ නොවෙන පැත්තකින් බැලුවොත් ටිකක් අපහසුයි.මම හුනු බෙටි ටික ගසලා හාෆ්ශිට් ටික ලඟට අරගෙන උඩින්ම ලිව්වා ප්‍රේම වර්ගකියලා.


ප්‍රේමය, යහපත් ගෑනු දැරිවියක් විසින් අම්මා හෝ තාත්තා හෝ හොයාදෙන තෙක් ජනෙල් රෙද්ද අස්සෙන් බලාගෙන ඉන්න ඕනි විත්තිය කීවේ අපේ ආච්චි.මම ජනෙල් රෙද්ද අස්සෙන් බලාගෙන නොයිද ජනෙල් රෙද්දත් කඩාගෙන ගියේ ඒ ලෙවල් ඉවර වෙච්ච මුල්ම දවස් වල.එදා ඉදන් අද වෙනකන් පිරිමිසහ ප්‍රේමයඑක්ක තෙල් නැතිව තෙම්පරාදු වෙච්ච මං,මට මුණ ගැහිච්ච ප්‍රේම වර්ගගැන ලියලා තියන්න ඕනි කියලා හිතා ගත්තා.හිතුනොතින් පුළුවන් මේ ලියපුවා දෙසීයක් තුන්සීයක් ඩුප්ලෝ කරලා මගේ මෝඩ පහේ යාලුවන්ට මේ බලන්න හලෝ මම අලුතින් ලියපු කෙටි කතාවකියලා බෙදලා දාන්න.එහෙම නැත්නම් මේ මේසය උඩම හූනන්ට වැසිකිලි කැසිකිලි කරන්න තියන්න වුනත් පුළුවන්.


ප්‍රේම වර්ග කිව්ව ගමන් මට සිහියට එන්නේ මම මුලින්ම යාලු වෙච්ච කොල්ලාගේ මුණ.ඉස්කෝලේ යන කාලේ නිසා එයා රැවුල කපලා හිටියේ . කොන්ඩේ කොටම කොට වෙන්න කපලා, බාච්චු වගේ කලිසමක් ඇඳලා එයා ඉස්සර මාව බලන්න එන්නේ කැන්ටිමෙන් අලබෝලයකුත් අරගෙන.මම යහපත් ගෑනු ළමයාචරිතෙට ඒ දවස් වල නොසෑහෙන්න එන්ටර් වෙලා හිටපු නිසා මුලින්ම ඇල බෝලය එපා කියලා පස්සේ ගන්න අනේ ඔයාට ගෙනාවේකිව්වම පෙම් රැල්ල කන පිටි පස්සට දාලා තැන්ක්යුකියලා අරගන්නවා. මේ විදිහට ලැබෙන අලබෝලේ මට කවදාවත්ම තනියම කන්න හම්බෙලා නැහැ.මගේ වටේ හිටපු කපුටු කුලේ යාළුවො ටිකට දෙන්නම සිද්ද වෙනවා.අපි ඔය අලබෝලේ බඩට දාගන්නේ බයෝ පීරියඩ් එකේදී. එයා ක්ලාස් එකට එන්නෙම නිදි පෙති ගහලා වගේ වැනි වැනි.පස්සේ මේක ලියා ගන්න කියලා ළමයෙක්ට දෙනවා තඩි පොතක් කියවන්න. අපි කලින්ම ඒ පොත ලයිබ්‍රියෙන් පන්නලා ළඟ තියාගෙන ඉන්න නිසා නොට් එක අසාගෙන ලිවිමකරන්න වද වෙන්න ඕනි නැහැ.ඉතින් අපි නිදහසේ අලබෝලයට වැඩේ දෙනවා.මට මතකයි මම ඉස්කෝලේ ඇරිලා ගෙදර යනකොට එයා පාරේ තියෙන ජෑම් ගහක් යටට වෙලා බලන් ඉන්නවා.එයාට ලස්සනට ලියුම් ලියන්න පුළුවන්.හාර්ට් එහෙම ඇඳලා රතු පෑනෙන් මල් වැලක් ඇඳලා තරු පවා නිදන රැයකකියලා තමා ලියුම පටන් ගන්නේ.එයා මට ලියුම් වලින්,කටින් වගේම එහෙන් මෙහෙන් ඇනලා පවා ආදරෙයි කිව්වත්, මට එයාට ආදරේ කියන්න දිව නැමුනෙම නෑ.එයා හැමදාම වගේ අලබෝල ගෙනත් දුන්නත් ලියුම් පිටු අසූවෙ තනි රූල් පොතක් තරම් ලිව්වත් මම යහපත් ගෑනු ළමයාචරිතෙන් එලියට බහින්න බය වුනා.පස්සේ එක දවසක් එයා අලබෝලයක් නැතිව දෙකට තුනට නවපු කඩදාසි කෑල්ලක් දීලා යන්න ගියා.මට මතක විදිහට ඒකෙ තිබ්බේ මෙන්න මෙහෙම එව්වාද කොහෙද.


මට මේක මෙහෙම ලියන්න සිද්ද වෙච්ච එක ගැන දුකයි.ඔයා හොඳටම දන්නවා මම ඔයාට ආදරේ විත්තිය.ඔයා අලබෝල කන්න ආස විත්තිය දැනගත්තේ ඔයාගේ යාලුවන්ගෙන්.ඉතින් එකයි හැමදාම මම ඔයාට එව්වාම ගෙනත් දුන්නේ.මම ඔයාට කොච්චර නම් ලියුම් දුන්නද.ඔයා එව්වා ගන්නවා විතරයි මට උත්තරයක් දෙන්නේ නැහැ නේ.මට නම් තවත් මේ විදිහට ඔයා නිසා රස්තියාදු වෙන්න බෑ.මම කුසුම් එක්ක යාලු වෙන්න තීරණය කළා.එයත් අපේ ආර්ට් ක්ලාස් එකෙමයි.ඔයා ඉතින් බයෝ නිසා වෙන්න ඇති ඔච්චර ගෑස්.කමක් නෑ.හැමදේම හොඳට වෙන්නේ.කුසුම් ඔයාට වඩා සුදුයි, කොන්ඩෙත් ඉන ගාවට විතර දිගයි.අනික එයා අලබෝල වලට වඩා ගණන් අඩු පෑන් කේක් කන්න ආස.ඒකම කොච්චර දෙයක්ද.අපි දෙන්නම ආර්ට් නිසා එකම කැම්පස් එකට යන්න පුළුවන් කියලා කුසුම් කියනවා.ඔයා නම් දොස්තර නලාව දැනටමත් බෙල්ලේ දාගෙන නෙහ් ඉන්නේ.කුසුම්ගෙයි මගෙයි පලවෙනි ළමයා හම්බෙන්න එනකොට ඔයා දොස්තර නෝනෙක් වෙලා ඉන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්.




මම කඩදාසිය හෙමින් ගුලි කරලා බෑග් එකේ සල්ලි දාන පොකට් එකට ඔබා ගත්තා.පස්සේ ඔලුව රිදෙනවා කියලා මේසෙට ඔලුව තියාගෙන හිටියා.මගේ පපුව පිච්චෙනවා වගේ දැනුනේ ඇයි කියලා මම දැනගෙන හිටියේ නෑ.සමහරවිට කුසුම් මට වඩා ලස්සන එකියක් කිව්ව නිසා වෙන්න ඇති.මම එයාට ආදරේ කරාද නැද්ද කියලා මම තාම හරියටම දන්නේ නැහැ.සමහරවිට ආදරේ පැළ අවදියේ තියෙන්න ඇති.ඒ පැළය ගහක් වෙන්න කල් මැදි වෙන්න ඇති. ඒ ලියුම ගෙනත් දුන්නට පස්සේ මම එයා ආයිමත් අලබෝලයක් අරන් එවි කියලා මඟ බලන් හිටියා මට මතකයි.එයා දුන්න ලියුම් වලට උත්තර ලියන්න පටන් ගත්තේ එයා මාව දාලා ගියාටත් පස්සේ.


ඒ ලෙවල් ලං වෙනකොට මම එයා දුන්න ලියුම් ටික ලිපට දැම්මා.පස්සෙන් පහු තමා කවි ලියන්න පටන් ගත්තේ.මුලින්ම මම කවි ලියලා බිත්ති පුවත්පතේ එල්ලුවා.පස්සේ ඉස්කෝලේ සඟරාවේ පළවුනා.ඒත් එයාවත් කුසුම්වත් කවමදාවත් දැනගෙන ඉන්න නැතිව ඇති මම ඒ කවි ලිව්වේ එයාලට කියලා.ඇත්තටම මම වුනත් දැනගෙන හිටියේ නැහැ මේක ලියන්න පටන් ගන්නකන්ම මම ඒ ලිව්වේ එයාලට විත්තිය.


මේ ප්‍රේමයට දෙන්න පුළුවන් හොඳම නම මොකක්ද කියන එක තමා ඊලඟට එන දැවෙන ප්‍රශ්නය.සම්පුර්ණ ප්‍රේම කතාවම අලබෝලයක් වටා පරිභ්‍රමණය වෙන නිසා මේ ප්‍රේම වර්ගයට අලබෝලප්‍රේමය කියන එක නරකම නෑ නේද.

Comments

  1. අලබොල මල්ලි පව්. . //කුසුම් ඔයාට වඩා සුදුයි, කොන්ඩෙත් ඉන ගාවට විතර දිගයි.අනික එයා අලබෝල වලට වඩා ගණන් අඩු පෑන් කේක් කන්න ආස.ඒකම කොච්චර දෙයක්ද//නමුත් එයා හරිම බොළඳයි නේ. හොඳ වෙලාවට බේරුනේ. "බේරුණු ආලය " කියල කිව්වා නම් හරි.

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳ වෙලාවට නම් තමා එකකින් බේරුනේ... මේකේ දෙවැනි කොටහක් තියෙනවා :D

      Delete
  2. ඉතිරි ප්‍ර‍ේම වර්ග ගැන කියවන්න මඟ බලමින් .....

    ReplyDelete

Post a Comment

Popular Posts