නමක් නම් කළ නොහැක





මේ කිළිටි ඇඳ ඇතිරිලි, සමනල් ස්ටිකර් ඇලවූ සැටින් ජනෙල් රෙදි මාස කිහිපයකට පසුවද එලෙසම පවතියි...ඇය සියළු දෑ අතහැර දෙව්ලොවට ගිය වග සමර ගෑ බිත්තියේ එල්ලී බලා සිටිනා හූනා බාගදා නොදන්නවා විය හැක...ඇය දිනපතා දැල් වූ සුගන්ධවත් ඉටි මල අඩක් දැවී නිවී ගොසිනි...මේසය අසල බොන්සායි ගස, ඇය ඉතා ආසා කල, නමුදු හැර දමා යාමට සිදු වුන, ඇය කැමති අකමැති සෑම දේම පැවතියද,ඇය සොයාගත නොහැකිය...සොයා යෑමද රිදවනා සුළුය...



මීට වසර ගණනකට පෙර,එදා මහ වැසි වැටුන, ඇය තම සිඟිත් දෑතින් මා දබරඟිල්ල අල්ලා ගත් මොහොත මට සිහියට එයි...ඇය සිඟිති ස්වර සුසර කර "අම්මා" යැයි කියූ දින හදවතේ මා නොදත් තැන්නක ඉතිරිය...


ඇය සිය විසි එක්වෙනි උපන්දිනයට සිටියා නම්, දැන් මා අතේ රැඳි මේ විසල් සෙල්ලම් වලසා ඇය තුරුළේ සිටින්නට ඉඩ තිබුණි...විකිරණ ප්‍රතිකර්ම නිසා හිසින් බැස ගිය කොණ්ඩා ගස් ගැන පවා ඇය වද නොවුන බව මට මතකය...දෑත් කෘෂව යන විට , දෙතොල් අවපැහැ වන විට "මට සනීප වුනාම හැමදේම හරියාවි" යැයි ඇය දෑස් සිහින් කර සිනාසුනා මතකය...ඇය බෙහෙත් කටු සම පසාරු කරන විට පවා සිනහසුනාය... "මට ඉක්මනට හොඳ වෙනවා...මට ලස්සන මනාලියෙක් වෙන්න ඔනා" ඇය මගේ කම්මුළ් මෘදුව මිරිකමින් කියූ හැටි, මතකයන් බොහෝ වේදනාවක ගිල්වනා හැටි!!



මේ හැමදේම ඇය මහරගම වාට්ටුවට යෑමට පෙර තිබූ ලෙසමය...වෙනස සියල්ලේම ප්‍රාණය වූ ඇය නොමැතිව ඇති හිස්තැනයි...ඇය ලියූ දිනපොත් පිටු'තර, ඇය සදහටම දෑස් වසා ගන්නට පෙර ලියූ සටහන සෑම රැයකම මම කියවමි...මගේ දුවේ...නුඹ පැතූ ජීවිතය නුඹ ඉදිරියේම කුඩුවී යන හැටි දෙස බලා නුඹ සිනහසුන හැටි මට පුදුමය...මරණයට පවා අම්මෙක්ගේ ප්‍රේමය බිඳ දමා යා නොහැකි වග මම  දන්නෙමි....විටෙක මේ දින සටහන් මට හමු නොවුනා නම් යැයි සිතෙයි...

***********************************
අළු බදාදාවක
දොළහේ කණිසමට..


මේ දිනපොතේ දිනකට ලිවීමට ඇති ඉඩ මා මෙන් අතැඟිලි ගණනට ජීවත් වීමට දින නියම වූවෙකුට මදි බව මුලින්ම ලිවිය යුතුය...මා අත තිබෙන පෑනද ඉක්මනින් ඉවර වී යනු ඇත... අලුත් පෑනක් ඉල්ලා සිටීමෙන් කිනම් ප්‍රයෝජනයක්ද...මා කාවෙනුවෙන් ලියන්නද??


අම්මා මගේ ඇඳ විට්ටමට හිස තබාගෙන අඩ නින්දේය...ඇගේ හිස කෙස'තරින් මතුවෙන සුදු කෙස් ගස් මේ මද ආලෝකයෙන් පවා පෙනෙයි...ඇගේ පිරිපුන් කම්මුළ් බෙරි වුන බත් මෙන් වී ඇත...මට මා ගැන දුකක් නැත..මට දුක අම්මා ගැනය..



පාසල් යන විට දණ තෙක් වැඩුන කොණ්ඩය තනි කරලට ගෙතූ හැටි මට මතකය...ඒ කොණ්ඩය අතර ඔහු රඳවනා ගැටපිච්ච මල් සුවඳ මතයක...සුදු මහත්තයාට දැන් මල් ගසා සැරසීමට  කොණ්ඩයක් නැති අඩුව දැනෙනවා විය හැක...ඔහුගේ විසල් පපු තුරුළේ තවමත් හිස හොවන්නී මම වෙමි...ඒත් එය කොයිතරම් කාලයකටද...කම් නැත...තිබෙන ටික කාලය හෝ ඔහු උරහිසේ කඳුළු සැලීම මා සඳහාම පමණය...


මට ඔහුගේ ඇස් තේරෙයි.."ඔයා සනීප වුනාම අපි සිරිපාදේ යමු" යැයි කීවත් හිමය තරණයට වාරය එනතුරු හුස්ම රන්දා ගන්නට මට බැරිව යනු නිසැකය...    



 දෑස් වටා ඇති කළු පැහැ හෙවනැලි, සම් ඇට පමණක්ම ඇති මස් නැති කෝටු අතපය ගිලී නොපෙනී යන ඇස් වාට්ටුවේ නානකාමර කැඩපතින් පෙනෙයි...මේ මම දැයි පවා මට සැකය... ඒ පෙනෙන්නිය මම නොවේ යැයි මටම කියාගනිමින් ඉක්මනින් දෑස් වසා ගන්නේ ඇයි දැයි මටම නොතේරෙයි... ඇත්ත පිළිගැනීම මේ තරම් කටුකද..මම සියළු දෑ ඉවසාගත යුතුය...මේ රිදුම් තව සුළු කාලයකට පමණක් නම් ඒ ගැන තැවෙනු කුමටද?


සුදුමහත්තයා මෙන් දඟ කොළුවෙක්ට අම්මා වීම නම් මරණ මංචකයේදී පවා අත්හැරිය නොහැකි සිහිනයකි...මම හිතින් ඔහු නමින් ගැබ උසුලමි...මා මියෙන විට ඒ ගන්ධබ්බ ප්‍රේමනීය වස්තුව පමණක් රැගෙන යමි...ඒ පැංචාට සිතින් නම් සාදමි... ගවුම් කොට හිතින් මසමි...මේ කෙටි කාලය මට සතුටින් ඉන්නැයි ඒ පැංචා කියනවා යැයි මවා ගන්නෙමි..


"අම්මේ මම ඉක්මනට හොඳ වෙයි" කියූ විට අම්මා සිනහසෙන නිසා වෙන්ම එය නැවත නැවත කියනවා විනා ජීවිතාසාව නැතිව බොහෝ කල්ය.. හැම සෛලයකම පිළිකාව උඩුදුවා ඇති නිසාදෝ කිව නොහැකි තරම් වේදනාය...එළි වෙන්නට මත්තෙන් අම්මා සනසන්නට හෝ මම නිදා ගත්තා යැයි පෙන්විය යුතුය...අම්මා හැර යාමට මම තවම සූදානම් දැයි මට සැකය... මාරයා මා සූදානම්ව පැමිණෙන තුරු ඉවසාවි දැයි පවා සැකය..
*******************************************
දුවේ නුඹ වළාකුළු අතරට ගිය වග මම දරාගනු කෝම??මම වළාකුළු අතරට එන විට නුඹ අසල ඉඩක් මට තියෙයිද...දුවේ ඒ දිග කොණ්ඩය නුඹට නැවතත් දෙව්ලොවෙදි හමුවුනාද..මගේ මුණුපුරා දෙව්ලොව සුවෙන් පසුවෙයිද



Comments

  1. https://www.youtube.com/watch?v=sfWFr6kCfvg

    ReplyDelete
  2. හරිම සංවේදී කතන්දරයක් මල්ලි...බොහොම රහට ලියල තියනවා...

    ReplyDelete
  3. ගොඩක් සංවේදී කතාවක්...හරිම රසයි. ජයවේවා !!!

    ReplyDelete

Post a Comment

Popular Posts