මම , ඔහු සහ කිහිපදෙනෙක් (1 කොටස)

මම-

ඔයාට මතකද සරත් ඔයා මාව බලන්න ආපු පළවෙනිම දවස...අම්මා ඉරිදා ලහිපිටේ දාපු, මනමාලයෙක් හොයනවා කියලා තිබ්බ දැන්වීම දැකලා ආපු අයගෙන් ඔයා හතරවෙනියා...මම හිටියේ හොඳටෝම තෙහෙට්ටු වෙලා බව ඇත්ත...මටත් වඩා ගෙදර මිනිස්සු තෙහෙට්ටුවෙන් හිටියේ කන්න බොන්න දීලාම ආපු මිනිස්සු හැත්ත බුරුත්තටම...ඔයාට මතකද සරත් මම එදා ඇඳගෙන හිටිය සාරිය...අර දම් පාට මල් තියෙන සුදු එක...ඒක මගේ එකක් නෙමෙයි..ඒක අපේ නංගිගේ අලුත්ම සාරියක්...මට එච්චර හොඳ සාරි තිබ්බේ නෑ...මට මොකටද සාරි කියලා අම්මා මට සාරියක් අරන් දෙන්නවත් එහෙම උනන්දුවක් තිබ්බේ නෑ...


ඔයා එන්න කලින්ම , ඒ කියන්නේ ඔයා අපේ ගෙදර එන්නවාය කියලා දන්වනවා එක්කම තමයි මම ඔයාට කැමති වුනේ...ඒක මහ අමුතුයි නේද සරත්...ඔයා මාව බඳින්න එනකොටත් මම හිටියේ හතලිස් ගණන් වල මැද..අම්මා කිව්වේ ඔයා පනස් ගණන් පන්නලා හිටියා කියලා විතරයි...වයස ගැන මතක් කරන කොට මට පොඩි පාපොච්චාරණයක් කරන්න හිතෙනවා...දැන් මේ දේවල් කියලා වැඩක් නෑ ඇත්ත...ඒ මම මෙහෙම කියන්නේ මගේ හිතේ සනීපෙට.. අහක බලා ගත්තාට මම දන්නවා ඔයා අහන් ඉන්න විත්තිය..



මම ඒ ලෙවල් පංතියේදි යාලුවෙලා හිටියා කොල්ලෙක් එක්ක...පුදුමයි වගේද..මේ කෙසඟ කළු මළහත්තිලව්ව එක්ක කොල්ලෙක් යාලු වෙලා හිටියා කියලා කියනකොට...ඔව් මටත් මුලින්ම පුදුමයි..ඒත් එක දිගට එක දිගට පුදුම වුනාම ඒකේ පුදුමගතිය නැති වෙලා   යනවා...

එයා හොඳටෝම උස මහත කළු හැන්ඩ්සම් ගනයේ කොල්ලෙක් වුනාට එතන පොඩි පරහක් තිබුණා සරත්..එයා මට වඩා අවුරුදු දෙකක් බාලයි....මට මතකයි එයා මට මුලින්ම ගෙනත් දුන්නේ මල් මල් කුඩයක්..පස්සේ දවසක නංගි කුඩේ අරන් ගෙනිහින් නැති කරලා එනකන්ම ඒ කූඩේ මගේ ලඟ පරිස්සමට තිබ්බා...ඒ සම්බන්ධේ තිබ්බේ හරියටම මාස හතරක් විතර...එයා ටීවී එකේ ආයුර්වේද වැඩසටහනක් බලලා සම්බන්ධේ නවත්තලා දාන්න මාර හේතුවක් හොයාගෙන ඇවිත් තිබ්බා...
සරත් ඔයාට පුළුවන්ද අනුමාන කරන්න නිකමට ඒ හේතුව...ඔයාට බෑ කියලා මම ඔනිම ඔට්ටුවක් දානවා...ඔයා අහලා තියෙනවාද පිරිමි මාස , ගෑනු මාස කියලා දෙයක්...ගෑනුන්ට ඉක්මනට කාලේ ගෙවෙනවාලු..ඒ කියන්නේ ගෑනු මාසෙකට දවස් විසි අටයිලු...පිරිමි මාසෙකට දවස් තිස් එකයිලු..ඉතින් මම එයාට වඩා ඉක්මනට ඉක්මනට වයසට යන නිසා පස්සේ ප්‍රශ්න ඇතිවෙයි කියලා මේක නවත්තමු කිව්වා...ඔයා හිතන්නේ මම මොනවා කලා කියලාද..එක පාරටම මාව දාලා යන්න එපා කියලා අඬයි කියලාද...නැත්නම් කණ පුපුරන්න කම්මුළ් පාරක් ගහවි කියලාද...නෑ..මම කලේ පුළුවන් තරම් හයියෙන් හිනා වෙච්ච එක.. එයාව බය වෙලා ක්ලාන්ත වෙන තරමට හයියෙන්...ඊට පස්සේ ඒක නිකන්ම නිකන් මතකයක් විතරක් වෙලා ගියා...

ඔයා හිතනවා ඇති මට පිස්සු කියලා...සමහර වෙලාවට මමත් මට පිස්සුද කියලා කල්පනා කරනවා..ඒවායින් වැඩක් නෑ...මම නිකන්ම කතාවෙන් පීලි පැනලා...මම කොතනින්ද නැවැත්තුවේ..ආ..ඔයා මාව බලන්න ආපු දවසින් නේද...පොඩ්ඩක් ඉන්න මම ආයිත් පටන් ගන්නම්..
මම ඔයාව මුලින්ම දැක්කේ ඔයා කාර් එකෙන් බැහැලා ගෙට ගොඩ වෙනකොට..හැබැයි දැක්කේ මම ඔයාගේ පස්ස පැත්ත විතරයි...ඊට පස්සේ බුලත් හෙප්පුවත් අරගෙන ඔයාගේ ඉස්සරහට ආවාම තමා මූණ දැක්කේ සහසුද්දෙන්ම...ඔයා මාත් එක්ක හිනා වුනා...ඔයාගේ ඉස්සරහ බොල්ලෑව දත් පෙන්නලා...මට හිතුනේ ආයිත් ගෙට දුවන්න..ඒත් එහෙම කරන්න හිතට හයිය තිබ්බට කකුල් වලට හයියක් තිබ්බේ නෑ.. 

ඔයාට මතක ඇති නේද මමත් ඔයා එක්ක හිනා වෙච්ච විදිහ...ඔයා ලොකු රස්සාවක් කරපු එක , තව පවුලේ එකම ළමයා වෙච්චි එක, ඔයාගේ අම්මා මැරිලා හිටපු එක ( නැන්දම්මාගේ කරදරේ නැති එක) වගේ හොඳ දේවල් ගොඩක් මැද්දෙදි ඔයාගේ බොල්ලෑව දත් මම දැක්කේ නෑ කියලා හිතාගෙන ඔයාට කැමති වුනා...ඊට පස්සේ කසාදේ..ඊට පස්සේ හනිමූන් එක..එදා ඔයා නොසෑහෙන්න සතුටු වුනා මෙච්චර වයසක් වෙනකන්ම චරිතේ කැත නොකර ගත්ත  එක ගැන...පිරිමින්ට වටින ගෑනුන්ට තඹේකට වටින්නේ නැති ජපන් කොඩිය...විකාර...
අපි බැඳලා හරියටම අදට අවුරුදු තුනයි මාස හයයි දවස් දෙකයි...අපිට දරුවෝ නෑ තමයි...අපි දෙන්නම දරුවෝ ලැබෙන වයස පහු කරලා ඇවිත් ගොඩක් කල්..ඇත්තටම අපි දෙන්නම කිව්වට මම ඒ කාලේ පහු කරලා ඉවරයි...
පිරිමි සත්තුන්ට පුළුවන් මුළු ජීවිත කාලේදිම සරු බීජ වපුරන්න..ඒත් ගෑනු සත්තුන්ට ස්වභාවධර්මය දීලා තියෙන්නේ ටික කාලයයි...ඒ කාලේ ඇතුළත ඵල දරන්න ඔනි..නැත්නම් කුණාටුවට අහුවෙච්ච කණාටු ගහක් වගේ ටිකෙන් ටික දිරන්න ඔනි...ඔයාට එච්චර දෙයක් තේරුම් ගන්න ඔනිකමක් නැති බව ඇත්ත..එහෙම දෙයක් තේරුම් ගන්න පුළුවන් වුනා නම් ඔයා ලෝෂණි පස්සෙන් නොයන්නත් තිබ්බා...ඔයා හිතනවා ඇති මම කොහොමද ලෝෂණි ගැන දන්නේ කියලා නේද සරත්..ඒක හරි සිම්පල්...ඒකට තමා කියන්නේ ගෑනුන්ට සහජයෙන් පිහිටලා තියෙන මාරාන්තික ඉව කියලා...


මම ඔයාට දොස් කියන්න ආස නෑ සරත්..ඇත්තම කතාව කිව්වොත් මම ඔයාට ආදරේ කරේ නෑ...මම උත්සහ කලා හරියට...ඒත් මට බැරි වුනා...මම දන්නවා ඔයත් ගොඩක් උත්සහ කළ විත්තිය...මට ඔනි වෙලා තිබ්බේ කසාදයක් බඳින්න ඔනි කියන එක විතරයි...මම බය වුනා මම නිසා මගේ නංගිලාට කසාද බඳින්න බැරි වෙයි කියලා...අම්මලාට සදාකල් බරක් වෙයි කියලා...ඔයාට ඒ දේවල් කිව්වට තේරෙනවාද සරත්...නෑ පිරිමින්ට එහෙම සංකීරිණ දේවල් තේරුම් ගන්න ටිකක් අමාරුයි...ඒත් මම ඔයාට අඩුවක් පාඩුවක් කළේ නෑ කිසිම දේකින්...ඉතින් මට දුකයි...ඔයා ලෝෂණි  නිසා තාත්තෙක් වෙන්න යන එක ගැන...මම හිතුවේ දත් බොල්ලෑව නිසා ඔයා මෙහෙම දේවල් නොකරාවි කියලා..ඒත් පිරිමින්ගේ ලස්සන තියෙන්නේ ගෑනුන්ගේ වගේ මූණේ නෙමෙයි සාක්කුවේ තියෙන පර්ස් එකේ බව මට තේරුම් ගියේ කාලෙකට පස්සේ...
 සරත් මට හරි දුකයි තමයි...එකක් මං ගැන අනික ඔයා ගැන...බගදා හැමදේම හරි යන්න තිබ්බා ඔයා තව ටිකක් ඉක්මනට මාව කසාද බඳින්න හොයන් ආවා නම්...ඒක වෙන්න බැරි දෙයක් වුනත් එහෙම මට හිතෙනවා...සරත් ඔයාගේ දරුවගේ අම්මා ලෝෂණි වෙද්දි මම ඔයාගේ කවුරු වෙලා නතර වෙයිද...ඔයාගේ කසාද ගෑනි විදිහට..නැත්නම් ඔයාගේ ගෙදර වැඩටික කරලා දෙන වැඩකාරි විදිහට...එහෙමත් නැත්නම් නිකන්ම නිකන් ලහිපිටේ මනාලියක් විදිහට??

Comments

  1. මේකත් ලස්සනයි. ඒත් කෝ එදා ලිව්ව එකේ ඉතුරු ටික?

    ReplyDelete
  2. ලස්සනයි

    ReplyDelete
  3. රහම ලියමනක්...ජිවිතේ එක තිත්ත ඇත්තක්...

    ReplyDelete
  4. අපූරුයි.... ඔහොම කතා කී ලක්ෂයක්ඇත්ද ?

    ඇස් දෙක ඉවරයි.... කලු පසු බිමේ සුදු අකුරු.....

    ReplyDelete

Post a Comment

Popular Posts