කුඩා විශ්වය

"හැම මනුස්සයෙක්ම එකිනෙකට වෙනස් පරිසර පද්ධතියක්"
- දේශනයකදි-


මම
කුඩා විශ්වයක් මි.


හිත ඉරී දුක සිතී
හඬන විට,
හිස කකියන්ට හේතුව,
රෝස කටු පඳුරකට පවරමි..

හදවතේ දාස්පෙතිය පිපෙයි,
රොන් සුවඳ උහුළනු බැරිව
බඹරු කිවිසුම් සමඟ පිටවෙයි,
යටිබඩේ මහ මුහුද මැද
කුඩා ඔරුවක නැගී
නමක් නැති කවුරුදෝ
කොහේදෝ පාව යයි..


පෙනහලු තුළ තැනක
දණින් වැටී කොණක,
තවමත් නම් දී නැති
බැක්ටීරියාවක් සිටින්නට බැරිද
"මේ විශ්වය කොයිතරම් විසල් ද"
සිතන..


මම
අහස දෙස බලමින්
නිවෙන දැල්වෙන තරු ගණිමින්
විශ්වයේ සුලමුල ගැන 
තැවෙන විටත්..

මම 
කුඩා විශ්වයක් මි..





Comments

Post a Comment

Popular Posts