සබඳ අපි යමුද ඒ ඉසව්වට


බෙහෙත් ගඳ වාට්ටුවේ කොණක
 හෙමින් ඉකිලන යකඩ ඇඳකි
 රතු පාට මොනවදෝ ඉහිරුණ
 සුදු පාට කිළිටි ඇඳ රෙද්දකි


මනමාල පියන් නැති කවුළු
 හිරිකඩට තෙමන්නෙම ඇතිරිලි
 කහ පාට ඇලෙනසුළු මැළියම්
 සූරනා හඬකි, කඩින්කඩ ඇසෙන්නකි


හෙද ලිහිණියක ස්වරාලය කෙළින්කර
 උස් හඬින් බාන සිවුරුහන් හඬ
 සීරුවට කෙලින් කරගත් ව්‍යාධිපත් ගෙල
 බෙහෙත් වඩියක් ගිලිනු වස් තමා ඒ අණ


වෙද නළාවකි වැරෙන් සිපගත්
 රැළි වැටුණ ළය මඬලේ සිරවී
 පපු ගැහෙන ස්වර තාන සුතුරේ
 වැරදිච්ච ස්වර ඇද්ද සොයන


රෝහලේ හැමතැනම නිමිති
 නිවන් යනු පිණිස වෙන්කරන ලද
 සබඳ අපි යමුද ඒ ඉසව්වට
 අහුලගෙන එන්න , පිළිකුළට කණිස!!

Comments

Popular Posts